බැඳුම්කරේ ගැන මම දන්න සමහර දේවල් එළියට දැම්මොත් ආණ්ඩුවේ සමහර අය තරහ වෙනවා - රනිල් (VIDEO)

බැඳුම්කරේ ගැන මම දන්න සමහර දේවල් එළියට දැම්මොත් ආණ්ඩුවේ සමහර අය තරහ වෙනවා - රනිල් (VIDEO)

7 July 2020 03:03 pm

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන් දන්නා ඇතැම් දේවල් හෙළිකළ හොත් ආණ්ඩුවේ ඇතැමුන් තරහ වෙන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය 03 වැනි දින පස්වරුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නිවසේදී හමු වී තිබුණු අතර ඔවුන් නැගූ ඇතැම් ප්‍රශ්න ගැන කතා  කළ හොත්  ආණ්ඩුවේ අය තමන් සමඟ අමනාප වන බවයි ඔහු කියා සිටින්නේ.

කෙසේවෙතත් බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති අතර අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට අධිකරණයේ නඩු පැවරිය හැකි බවද වික්‍රමසිංහ මහතා සඳහන්කරයි. 

එම බැඳුම්කර ගණුදෙනුවේ වංචාවක් සිදුව නැති නමුත් වරදක් වීමට ඉඩ තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි.

මෙහිදී ප්‍රධානම ප්‍රශ්නය වුණේ එවකට මහ බැංකු අධිපති සහ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයාගේ දැන හැඳුනුම්කම සහ ඒ මත නොයා යුතු පුවතක් පර්පෙචුවල් වෙත ගොස් ඇති බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ ලංකා නිවුස් වෙබ් වෙතා සාකච්ජාවකට එක්වෙමිනි. 

එජාපයෙන් යන්නේ මෝඩයෝ කියලා කිව්වෙත් ප්‍රේමදසමයි 

මැතිවරණයක් ක්‍රියාත්මක කර ඇති මොහොතක එක්සත් ජාතික පක්ෂයේ  සජිත් ප්‍රේමදාස පාර්ශවය එජාපයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ද ඔහු සිය අදහස් පළකරන ලදී. 

එහිදී වික්‍රමසිංහ මහතා පවසන්නේ පක්ෂය හැර දමා යන්නන් මෝඩයන් බවට තමා සමඟ ප්‍රකාශ කළේ ආර්.ප්‍රේමදාස මහතාම  බවය. 

මේ වන විට සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමේ ඉවත් වීම එජාපය අදාළ කරගෙන නොමති අතර අළුත් කණ්ඩායමක් සමඟ පෙර පැවති ඩී.එස්. සේනානායක යුගයේ එජාපය ගොඩනගන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ. 

ඉවත් වූ පිරිස ජනප්‍රිය නම් පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් ජයග්‍රහණය කළ යුතු බවද හෙතෙම පවසයි. 

"ඔවුන් ජනප්‍රිය නම් ජනාධිපතිවරණය දිනන්න තිබුණා. ඔවුන් දැන් පක්ෂයෙන් ඉවත් වෙලා ඉවරයි. අපි දැන් අපේ ගමන යනවා. අපිට වෙනම මුස්ලිම් හෝ දෙමළ නියෝජනයක් අවශ්‍ය නැහැ. එම අපේක්ෂකයන් අපි එක්සත් ජාතික පක්ෂය තුළින්ම ඉදිරිපත් කරනවා. පක්ෂයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදරයි යන්න ඕනේ."

සජිත්ට පක්ෂය දාලා යන්න දෙයක් තිබුණේ නැහැ - අගමැති අපේක්ෂක විදිහට ජන්දෙට එන්න කියලා කිව්වා

එමෙන්ම මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවසූ බව එජාප නායකයා පවසයි. 

එහෙත් දැන් අළුත් මුහුණු එකතු කර තිබෙන අතර පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යන බවයි හෙතෙම කියාසිටින්නේ. 

ස්වාධීන හා දෙමළ මුස්ලිම් ජන්ද අයින් කළොත් ජනාධිපතිවරණයේදී අන්ත පරාජයක් ලැබුවා 

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන හා දෙමළ මුස්ලිම් ජන්ද ඉවත් කළ හොත් අන්ත පරාජයක් ලබා තිබෙන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 

"ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් අතර වෙනස ලක්ෂ 26යි. සිංහල බෞද්ධ ජන්දයි,ග්‍රාමීය කතෝලික ජන්දයි නැති වුණා. තරුණ ජන්ද නැති වුණා. මැද පන්තියේ ජන්ද නැති වුණා. මේවා අපි ඇස් ඇරලා බලන්න ඕනේ. කොහොමද මේවා අපහු ලබා ගන්නේ බලන්න ඕනේ. UNP කොටසක ජන්ද අරගෙන දිනන්න බැහැ."

එම අහිමි වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස අවධානය යොමුකර තිබෙන අතර යළි ඩී.එස්.සේනානායක යුගයේ පැවති පක්ෂය ගොඩනගන බවයි හෙතෙම අවධාරණය කරන්නේ. 

ආර්ථිකය නැංවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පවත්නා මොඩලය වෙනස් කළ යුතු බවයි. රට අහාර අතින් ස්වයං පෝෂිත හෙයින් ජනතාව අතර මුදල් ගැවසෙන ක්‍රමයක් ඇති කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

ASK