මං නම් ආයෙ නම් දාන්නෙ නෑ - සජිත් මඩ වලින් ගඩොල් හදයි #puthaknows

මං නම් ආයෙ නම් දාන්නෙ නෑ - සජිත් මඩ වලින් ගඩොල් හදයි #puthaknows

3 July 2020 09:15 am

"ගම්මාන හදලා ලෝකෙන්ම නම කැත කරගත්ත එකම පුද්ගලයා මම වෙන්න පුළුවන්. හැබැයි මම උදාගම්මාන 2500කට වැඩි ප්‍රමාණයක් හදලා පවුල් 61,000කට නිවාස තනලා දුන්නා. 

දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ පැල්පත් වාසීන්ට, කුලී නිවෙස්වල ජීවත් වන අයට, අනු පවුල්වලට, ඒවගේම මධ්‍යම පාන්තිකයින්ට නිවාස හදන සැලැස්ම දැන් හදාගෙන යනවා. ඒ ඔක්කොම මහල් නිවාස යෝජනාක්‍රම. 

මම හැබැයි මේ මහල් නිවාස යෝජනාක්‍රම වලට නම් දමන්නට නම් යන්නේ නෑ. දැක්කනෙ සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම නම් කෙරුවායින් පස්සෙ එක එක අය කියපු දේවල්. ඒනිසා මම ගෙවල් ටික තනන්නම්, ඔයගොල්ලෝම කැමති නම් ඉදිරිපත් කරන්න" යැයි හිටපු නිවාස අමාත්‍ය, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත වීඩියෝවක් එක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර ඇති අතර පසුගිය සමයේදී ඒ මහතාට අපහාස, උපහාස කිරීම සඳහා දේශපාලන විරුද්ධවාදීන් යොදාගත් "පුතාණෝ" යන යෙදුම #puthaknows වශයෙන් හෑෂ්ටැග් එකක් ලෙස නිර්මාණශීලීව යොදාගෙන තිබීම ද විශේෂත්වයකි. 

මැතිවරණ සමය තුළ බොහෝ දේශපාලනඥයින් එකිනෙකා පරයමින් එකිනෙකාට මඩ ගසාගනිමින් මඩකරියන් බවට පත්ව සිටින මොහොතක මොහොතක දේශපාලන විරුද්ධවාදීන් තමන්ට ගැසූ මඩ වලින් මැටි අනා ගඩොල් තනන දියුණු දේශපාලන භාවිතාවක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.