මැතිවරණයට දින 33ක් තිබියදී නියෝජ්‍ය පොලිස්පති කුට්ටම යළිත් අනයි

මැතිවරණයට දින 33ක් තිබියදී නියෝජ්‍ය පොලිස්පති කුට්ටම යළිත් අනයි

3 July 2020 07:08 am

සේවා අවශ්‍යතා මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 

පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. 

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධන කොට්ඨාශයට මාරුකර යවා ඇති අතර ජී. කේ. ජේ. අපෝන්සු මහතා මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාශයෙහි වැඩබැලීම සඳහා පත්කර තිබේ. 

එසේම බස්නාහිර උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ මහතා පත්කර ඇති අතර රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩබලන නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. මාරඹගේ මහතා පත්කර ඇත. 

මොවුන් ද ඇතුළත්ව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 02 දෙනෙකු ස්ථාන මාරුකර ඇති බව සඳහන්. 

මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත්තේ මහමැතිවරණයට දින 33ක් පමණක් ඉතිරිව ඇති පසුබිමකදීය. 

මාර්තු 02 වන දින මහමැතිවරණය කැඳවූ අවස්ථාවේ සිට පොලිස් නිලධාරීන් විශාල පිරිසකට මේ වනවිට ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසිසේත්ම හිතකර නොවන තත්වයකි. 

එහෙත් පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම මේ යළි යළිත් සිදු කෙරෙන සෑම ස්ථාන මාරුවකටම අනුමැතිය ලබාදී තිබීම ද විශේෂත්වයකි. 

RN