නිරෝධායනය වී නිවසට ගිය අයෙකුට කොරෝනා. ජින්තුපිටියේ 143 දෙනෙකු කඳවුරු වෙතට !

නිරෝධායනය වී නිවසට ගිය අයෙකුට කොරෝනා. ජින්තුපිටියේ 143 දෙනෙකු කඳවුරු වෙතට !

3 July 2020 05:57 am

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු ඊයේ (02) පස්වරුවේ කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබිණි. 

මුහුදු ආරක්ෂකයකු වන මෙම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ජුනි 08 වනදා මෙරටට පැමිණ, දින 14ක නිරෝධායනය අවසන් කර PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු වූ නිසා ඔහුව නිවසට යවා ඇති අතර ජුනි 26 වනදා සිට ඔහු නිවසේ තවත් දින 14ක ස්වයං නිරෝධායන කාලයක් ගත කරමින් සිට ඇත. 

මේ අතර මොහුත් සමඟ නිරෝධායන කඳවුරෙහි සිටි වෙනත් අයෙකු පෙරේදා දිනයේදී ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන ඇත. පසුව ජින්තුපිටියේ පිහිටි නිවසේදී මෙම පුද්ගලයා ද යළි PCR පරීක්ෂණයකට ලක්කර ඇති අතර එයින් මොහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 

ඒ අනුව මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. 

කෙසේවෙතත් මෙය සමාජ සම්ප්‍රේෂණයක් නොව නිරෝධායන ක්‍රියාවලිය තුළින්ම හඳුනාගත් රෝගියකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. 

RN