දෑ අවුරුදු ණය සහනයකින් රට ගොඩගත හැකිද? (VIDEO)

දෑ අවුරුදු ණය සහනයකින් රට ගොඩගත හැකිද? (VIDEO)

26 May 2020 07:27 pm

Covid 19 ගෝලීය සෞඛ්‍ය අර්බුදය මැදින් ඇතිකරන ලද ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලොව නැගී එන ආර්ථික පමණක් නොව ශක්තිමත් ආර්ථික පවා සෙලවීමකට ලක්ව තිබෙන මොහොතක නැවත ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් වූ සංවාදය දිනෙන් දින අළුත් වෙමින් තිබේ. 

මෙම ගෝලීය ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවටද  එක ලෙස බලපා තිබෙන අතර නැගී එන ආර්ථිකයක් ලෙස මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම පහසුවෙන් කළමනාකරණය කර ගත හැක්කක් නොවේ. ඊට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන ප්‍රතිඵලදායක මැදිහත්වීම් අවශ්‍ය වෙයි. 

මේ වන විටත් ආනයන සිමා කිරීමටත්, ආනයනික භාණ්ඩ රැසක බදු ඉහළ දැමීමත්, මෙරටින් විදේශයන්ට ගල යා හැකි ආයෝජන කෙටිකාලීනව අවහිර කර තිබීමත් යනාදී තීන්දු තීරණවලට අනුව ශ්‍රී  ලංකා ආර්ථිකය මුහුණ දී සිටින අවදානමේ දිශාව හඳුනාගැනීමට හැකිය. 

එහෙත් මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්කරගැනීම හා එම මාර්ගයට පිවිසීම අත්‍යවශ්‍ය කාරණයක්ව පවතියි. මේ ,ඊට නව ආර්ථික දැක්මක් අවශ්‍යව ඇති මොහොතකි. මෙම ආර්ථිකය යළි නැගිටුවාලීමේ කර්තව්‍යයේදී මේ වන විටත් කැපී පෙනෙන දායකත්වයක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පාර්ශවයෙන් සිදුවෙමින් තිබේ. 

ප්‍රධාන වශයෙන් ඔහු මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයක් නව යෝජනා ගෙන විත් තිබෙන අතර මේ වන විට තවත් යෝජානාවක් ඉදිරිපත් කරමින් ආර්ථික යළි නැංවීමේ සංවාදය පුළුල් කරමින් ඇත. 

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය වශයෙන් ප්‍රබල මූල්‍ය ආයතනවලින් වසර දෙකක ණය සහන කාලයක් ලබා ගත යුතු බවයි. 

මෙවැනි අවදානමක යළි ගොඩනැගීමේ කාර්යයේදී එවැනි සහනයක් විශේෂයෙන් නැගී එන ආර්ථිකවලට අවශ්‍ය අතර එය ගෝලීය ආර්ථික නැගිටීමට පවා බලපාන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

එවැනි සහනයක් හෝ නොමැති වුවහොත් ලොව බොහෝ රටවල ණය ගෙවීම පැහැර  හැරීමේ තත්ත්වයක් මතු විය හැකි අතර එහි අයහපත් ප්‍රතිඵල ද විදින්නට වන්නේ ගෝලීය වශයෙන් බව කබ්රාල් මහතා සඳහන් කරයි. 

එවැනි ණය විරාමයක් ලද හොත් එම මුදල රටේ ආර්ථික ක්‍රියාවලියට යොදවිය හැකි බව පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එය ගෝලීය වශයෙන් පොදු කාරණයක් බවයි. 

කෙසේවෙතත් එය රට තුළ මනා ලෙස කළමනාකරණය කර ගත යුතු බව ඔහු අවධාරණය කරයි. 

මේ වන විට රට තුළ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුව තිබෙන පරිදිම  කර්මාන්ත හා සේවා ඇතුළු සෙසු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බව කබ්රාල් මහතා පෙන්වා දෙයි.
 
ජනතාවගෙන් 70%ක් පමණ නියැලී සිටින්නේ කෘෂි කර්මයෙන් වියුක්ත වූ සෙසු ක්ෂේත්‍රවල බවයි ඔහු සඳහන් කරන්නේ. 

"අපි ලෙඩේ හරියටම තේරුම් ගන්න ඕනේ. ලෙඩේ හරියටම තේරුම් ගත්තම තමයි හරියට ප්‍රතිකාර කරන්න පුළුවන් වෙන්නේ. ලෙඩෙන් දැනෙන දේවල් පමණක් බලලා ඒවාට ප්‍රතිකාර කරන්න ගියෝතින් වැඩේ වැරදෙන්න පුළුවන්"

මෙහිදී විශේෂයෙන් කෙටිකාලීනව ගනු ලබන ක්‍රියාමාර්ග තාවකාලික විය යුතු බවත් එම තාවකාලික ක්‍රියාමාර්ග වලින් මිදීමට නිවැරදි දිශාවක් තිබිය යුතු බවත් හෙතෙම කියා සිටියි. 

මේ සියල්ලටම පෙර ස්ථාවර රජයක් පැවතිය යුතු අතර මහ මැතිවරණයේ අවශ්‍යතාව දැඩිව පවතින්නේ මෙම ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට බව පෙන්වා දෙන හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිසම පවා මෙම කාරණය නිවැරදිව වටහා ගත යුතුව ඇති බවයි