The Finance වැටුණත් තැන්පතුකරුවන් ගොඩ ගියේ කොහොමද?

The Finance වැටුණත් තැන්පතුකරුවන් ගොඩ ගියේ කොහොමද?

26 May 2020 08:34 am

ඒකාබද්ධකරණය (Consolidation) වැඩසටහන අතරමඟ නතර කිරීමෙන් The Finance මූල්‍ය සමාගම වැටුණත් තැන්පතු රක්ෂණ ක්‍රමය (Deposit Insurance Scheme) නිසා තැන්පත්කරුවන් ගොඩ ඒම, මේ දෙකම හිටපු මහා බැංකු අධිපති කබ්රාල් මහතාගේ යෝජනා බව මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වින්සන් මර්වින් මතක් කිරීම 

Covid 19 හරහා ආර්ථිකය බිඳ වැටෙමින් පවතින අවස්ථාවක "බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්" වන 'The Finance" ලෙසින් මහජනතාව අතර ප්‍රචලිත මූල්‍ය සමාගමක් 2020.05.22 දින බිඳ වැටීම එක් අතකින් එහි වැඩ කළ සේවකයින්ට වැදුණු මරු පහරක් වූ අතර එහි මුදල් තැන්පත් කළ පිරිසකටද විශාල කම්පනයක් විය. ඊටත් වඩා රටේ මූල්‍ය පද්ධතියටම ඒ හරහා වක්‍රව අහිතකර බලපෑමක් ද ඇති විය. Covid 19 ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල කළ බලපෑම් පිළිබඳව මීට පෙර දිගින් දිගට ආර්ථික විද්‍යාත්මක ඇසකින් පුළුල් ලෙස විග්‍රහ කිරීමට අප සම්බන්ධ කරගත් දිවයිනේ ප්‍රවීන ආර්ථික විශ්ලේෂක,ග්‍රන්ථ 65ක කර්තෘ වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ වසර 25 ක් ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙස පසුව මහ බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ ජනාධිපති ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලද ප්‍රයෝගික පළපුරුද්ද උපයෝගීකරගෙන ශ්‍රී ලංකාවේ ඉතාම පැරණි මූල්‍ය සමාගමක් වූ The Finance මූල්‍ය සාමාගම බිඳ වැටීම ගැනත් දැනගැනීමට ද ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාව අප හමුවුණා. මේ ඒ සම්බන්ධයෙන් වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාගේ ශාස්ත්‍රීය අදහස් 

The Finance මූල්‍ය සමාගම වසා දැමීම හදිසි තීරණයක්ද?

බොහෝ දෙනෙකුට පෙනෙන්නේ මේක හදිසියේම ගත්තු තීරණයක් කියලයි. ශ්‍රී ලංකාවේ පැරණිතම වසර 80ක් තිස්සේ පැවති මේ The Finance සමාගමේ මූල්‍ය අර්බුදය ගැන කතා කරන්නට පටන් ගත්තේ 2008 ඒ කියන්නේ අවුරුදු 12කට පෙර ඉඳලයි. 2008 වර්ෂයේ ඔය කියන මූල්‍ය සමාගම ඇතුළු ආයතන රැසක්ම අයිතිව තිබුණේ රටේ කවුරුත් දන්නා ලලිත් කොතලාවල මහතාගේ නායකත්වයෙන් තිබුණු "සෙලින්කෝ සමාගම් සමූහ" ආයතන අතරටයි.  ඒ ආයතන බොහොමයක් ඒ කාලයේදීම බිඳ වැටුණා. ඒ බිඳ වැටීමට ආසන්නව තිබූ එම සමූහ සමාගම්වල ආයතනයක් වූ සෙලාන් බැංකුව බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකි වූයේ ඒ කාලයේ මහ බැංකු අධිපති ලෙස ක්‍රියා කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ගත් ඵලදායී වැඩපිළිවෙලක් නිසයි. අද වන තුරුත් සෙලාන් බැංකුව යහපත් මූල්‍ය ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරනුයේ එතුමාට පින්සිදුවන්නට යි. එසේ නොවුණා නම් සෙලාන් බැංකුවේ තැන්පත්කරුවන්ට හා සේවකයින්ටද දරුණු ඉරණමකට මුහුණ දෙන්න තිබුණා. ඒ කාලයේදීම The Finance ආයතනය බේරා ගැනීමට 6%ක අඩු පොළියකට රුපියල් බිලියන 06ක් තැන්පතු රක්ෂණ අරමුදලෙන් ලබා දීමටද කබ්රාල් මහතා පියවර ගත්තා. 

එතැන් පටන් විවිධ උපාය මාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තත් 2015න් පසු ඊට පෙර සැලසුම් කර තිබූ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ කාර්යක්ෂම වැඩසටහන් අතර මඟ නවතා දැමූ නිසා The Finance ආයතනයට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු වුණා. එහි අවසාන ප්‍රතිපලය වූයේ 2019 පෙබරවාරි 15 සිට ශ්‍රී ලංකා මහ බැංකුව එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කොට අවසානයේදී එනම් 2019 ඔක්තෝම්බර් 23 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ හා අනිකුත් ඇල්මැති පාර්ශවයන්ගේ යහපත සුරක්ෂිත කිරීමට එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට නිකුත් කළ බලපත්‍රය අවලංගු කළා. ඒ නිසාම පසුගිය මාස 15ක කාලය තුළදී එම මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ අයට තමන් තැන්පත් කළ මුදල් ලබා ගැනීමට නොහැකි වුණා. මුදල් පනත ප්‍රකාරව නියමිත කාලය තුළ මහ බැංකුව නිකුත් කළ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමට එදිරිව ලිඛිත වලංගු විරෝධයක් ගොණු කිරීමට ද ආයතනය අසමත් වීම නිසා 2019 12.21 දිනෙන් පසු එම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට මහ බැංකුවට හැකි  වුවත් මහ බැංකුව එසේ කළේ නැහැ. ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙක් හඳුනා ගැනීමට කැමැත්ත පළ කරන ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය සමාගමට අවසර දුන්නා. එහෙත් එවැනි දෙයක් කර ගැනීමට සමාගම උනන්දු වුනත් එය ස්ථාපිත කරගැනීමට සමත් වුණේ නැහැ. 2020 මැයි 22 දා එම සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට මහ බැංකුව තීරණය කළේ ඒ නිසයි.


 
කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට තිබූ බලයත් අහිමි වෙයි 

සමාගම් බලපත්‍රය අවලංගු වීම නිසා 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ විධි විධාන යටතේ කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට තිබූ බලයද අවලංගු වුණා. මෙම මූල්‍ය සමගම හදිසියේම කාටත් නොදන්වා එකවරම වසා දැමීමට මහ බැංකුව කටයුතු කළා යැයි කෙනෙකු චෝදනා කරන්නේ නම් ඒක වරදක්. දුර්වල බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල බලපත්‍ර නැවත්වීමට පෙර මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගණනාවක්ම ගන්නවා. බැරිම තැන තමයි දැඩි පියවරවලට යන්නේ. 2019 වර්ෂය තුළම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ T.K.S ෆිනෑන්ස් සමාගමේද බලපත්‍රය 2019 අවලංගු කළා. එය ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් සිටිනවා. එසේම 2019 දීම සිංහපුත්‍ර ෆිනෑන්ස් PLC සමාගමේ බලපත්‍රයද අහෝසි කළා. එහෙත් එම සමාගම යෝජනා කළ ;පරිදි ප්‍රාග්ධනය ප්‍රවර්ධනය කිරීමේ සැලැස්ම මුදල් මණ්ඩලය පිළිගෙන එය ක්‍රියාවට නැංවීමට එම සමාගමට අවස්ථාවක් ලබා දීම සිදු කළා. එසේම කල්බදු මූල්‍යකරණ පනත යටතේ Newest Capital Ltd සමගම වෙත  නිකුත් කළ බලපත්‍රයද 2019 අවලංගු කළත් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ එම සමගම වෙනත් බලපත්‍රලාභී මුදල් සාමගමක් විසින් අත්පත් කර ගැනීමට තීරණය කළ නිසා එහි ගණුදෙනුකරුවන් ආරක්ෂා වුණා. 

"මූල්‍ය ආයතන ඒකාබද්ධකරණය" වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ 

ඉහත 2019 දී මහ බැංකුව සිදුකළ දේවල්වලින් පෙන්නුම් කරන්නේ මහ බැංකුව යම් මූල්‍ය සමාගමක් හෝ කල්බදු සමාගමක් හෝ බලපත්‍රලාභී බැංකුවක් හෝ ක්ෂණිකව කඩා වැටෙන්නට ඉඩ නොදෙන බවයි. ඒ කාලයේ ප්‍රමුඛ බැංකුව බලපත්‍රලාභී බැංකුවක් ලෙස  අනවශ්‍ය ලෙස ක්‍රියාකරමින් මහ බැංකුව කියන ආකාරයට දිගින් දිගටම කටයුතු නොකළ නිසා එහි ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට එම බැංකුව වසා දමා එහි තැන්පත්කරුවන් "ශ්‍රී ලංකා සේවින්ස් බෑන්ක් ලිමිටඩ්" නම් වූ විශේෂිත බැංකුවකට අනියුක්ත කළ ආකාරයත් මීට පෙර සඳහන් කළ ආකාරයට සෙලාන් බැංකුව බේරා ගත් ආකාරයත්,දෙස බලන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මහ බැංකුව නොගන්නා වෙහෙසක් නැහැ. 2006 - 2014 කාලය තුළ මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ මූල්‍ය සමාගම් ශක්තිමත් කිරීමට "මූල්‍ය ආයතන ඒකාබද්ධකරණය" (Consolidation in  the Financial Sector) වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කරමින් සිටියදී අවාසනාවට 2015 සිට ආණ්ඩුව වෙනස් වෙලා අළුත් මහ බැංකු අධිපතිවරයෙකු පත්වෙලා හිටපු මහ බැංකු අධිපතිතුමාගේ ඒකාබද්ධකරණ කාර්යක්ෂම වැඩපිළිවෙල අඩපණ වන විට මූල්‍ය ආයතන කිහිපයකට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ නිසා එදා අධිපති කබ්රාල් මහතා සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා එක්ව රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට වැටෙන්න ගිය  සෙලාන් බැංකුව බේරා ගත්තා. වැටෙන්නට ගිය "The Finance"සමාගම බේරා ගැනීමට රුපියල් දුන්නා. රුපියල් බිලියන 6ක්  6%ක් පොළියට තැන්පතු රක්ෂණ අරමුදල හරහා ලබා දුන්නා. එවැනි දුර්වල මූල්‍ය සමාගම් වැටෙන්න නොදී ශක්තිමත්ව තබාගැනීමට බැංකු නොවන මූල්‍ය අංශයේ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කළා. 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඒකාබද්ධ සැලසුම 2014 Road Map හි දක්වා තිබූ ආකාරය 

බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ හා අත්පත් කර ගැනීමේ ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ කාලානු රූප සැලසුමකට අනුව ක්‍රියාවට නංවනු ඇත,

ඒකාබද්ධ කිරීමේ /අත්පත්කර ගැනීමේ උපායමාර්ග 

  • එක් කණ්ඩායමකට එක් බැංකු නොවන මූල්‍ය ආයතනයක් පමණක් පාලනය කළ හැක. 

           සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය - 2014 ජුනි

  • බැංකු නොවන මූල්‍ය ආයතන එකකට වඩා පාලන හිමිකම් දරන අධ්‍යක්ෂවරුන් හට බැංකු නොවන මූල්‍ය ආයතන අතර අත්පත් කරගැනීමේ සිදුකිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම 

           සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය - 2014 ජුනි 

  • ආයෝජකයන් හෝ විශාල පරිමාණයේ බැංකු නොවන මූල්‍ය ආයතන මඟින් සෘණ  වටිනාකමකින් යුත් බැංකු නොවන මූල්‍ය ආයතන අත්පත් කර ගැනීම 

           සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය - මේ වන විට සෘණ වටිනාකමකින් යුත් බැංකු නොවන මූල්‍ය ආයතන 2014 දෙසැම්බර් වන විට අවශෝෂණය කර ගැනීමට                   අපේක්ෂිතය. මීට අදාළ අනෙකුත් ආයතන 2015 වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය. 

  • බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල අවම මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 1 ක් දක්වා ඉහළ දැමීම 

           සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය - 2016 ජනවාරි 01

  • බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල අවම මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.5ක් දක්වා ඉහළ දැමීම

           සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය - 2018 ජනවාරි 01  

"තැන්පතු රක්ෂණ" ක්‍රමය නිසා තැන්පතුකරුවන් බේරුණා 

කිසියම් හේතුවක් නිසා බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් බිඳ වැටුනොත් එහි තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට "තැන්පතු රක්ෂණ" වැඩපිළිවෙලක් ද 2010 දී කබ්රාල් මහතා අධිපතිව සිටි කාලයේ මහ බැංකුව ක්‍රියාත්මක කර තිබීම සැනසීමට කාරණයක්. ඒක නොතිබුණා නම් මේ තැන්පත්කරුවන් අද අනාථයි. The Finance ආයතනයේ 1,45,172ක් වූ තැන්පත්කරුවන්ගෙන් 1,35,100කට එනම් 93% ක්වූ තැන්පත්කරුවන්ට තමන් තැන්පත් කළ මුළු මුදලම ලැබෙන්නේ 2010 කබ්රාල් මහතා ආරම්භ කළ "ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමය" (මීට පෙර තැන්පත් රක්ෂණ ක්‍රමය)යටතේ එහි තැන්පත්කරුවෙකුට මේ නිසා රුපියල් ලක්ෂ 06ක් ලැබෙන නිසයි. තැන්පතු රක්ෂණ අරමුදලට රුපියල් බිලියන 11ක් වැය වුණා. එහෙත් ඉතිරි තැන්පත්කරුවන් 10,072 කට ලැබෙන්නේද එක් තැන්පත්කරුවෙකුට රුපියල් ලක්ෂ 06ක් වන අතර ඊට වඩා වැඩි මුදලක් තැන්පත් කළ ඔවුන්ට (රුපියල් බිලියන 16ක් ) ලැබිය යුතු ඉතිරි මුදල ලැබෙන්නේ ආයතනය ඈවර කරන අවස්ථාවේදී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවයට යටත්වයි. ඒ පිළිබඳව ඉදිරියේදී ඔවුන් දැනුවත් කිරීමට මහ බැංකුව කටයුතු යොදමින් සිටිනවා. 

1950 සිට 2020 දක්වා වූ කාලය තුළ මහ බැංකුව රටේ මූල්‍ය ස්ථායිතාව සඳහා ක්‍රියාත්මක කරන වැඩ පිළිබඳ අතිශයින් සාර්ථක එකක් වූ අතර එය තරමක් දුරට හෝ අඩපණ වුණේ 2015න් පසු ඇති වූ යම් යම් අර්බුද, විශේෂයෙන් "බැඳුම්කර මගඩිය හරහා පොළී අනුපාතික ඉහළ යාම,  පාස්කු ප්‍රහාරය" සහ "Covid 19 වසංගතය" හරහා ව්‍යාපාර බිඳ වැටීම නිසයි. එහෙත් 2008 ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ මුළු ලෝකයේම  බැංකු කඩා වැටෙද්දී ශ්‍රී ලංකාවේ බැංකු ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා මහ බැංකුවට මේ අර්බුද හමුවේ ද නොසැලී සිටීමේ ශක්තියක් ඇති වුණේ කබ්රාල් මහතා ඇති කළ තැන්පතු රක්ෂණ ක්‍රමයට පින් සිදු වන්නටය. එසේම එතුමාගේ මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා නම් මූල්‍ය  සමාගම් ද එහි සේවකයින්ද ආරක්ෂා වෙන්න තිබුණා. 

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2010.10.01 දින තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා තැන්පතු රක්ෂණ ක්‍රමය රටට හඳුන්වා දුන් මොහොත