අජිත් රෝහණ ගුවන් පථයටම ගොස් දියණිය ගෙදර ගෙනියලා. CCTV කැමරාත් ඕෆ් කරලා !

අජිත් රෝහණ ගුවන් පථයටම ගොස් දියණිය ගෙදර ගෙනියලා. CCTV කැමරාත් ඕෆ් කරලා !

17 May 2020 05:04 pm

පසුගිය මැයි 08 වනදා යුක්‍රේනයේ කීයෙව් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි, ස්කයි අප් ගුවන් සේවයට අයත් PQ 5903 දරණ ගුවන් යානයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණියත් මෙරටට පැමිණ ඇති බවත් අජිත් රෝහණ මහතා කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකට ඇයව යොමු නොකොට, නීතිවිරෝධී ලෙස සිය නිවස කරා කැඳවාගෙන ගොස් ඇති බවත් මේ පිළිබඳ අප කළ වැඩිදුර විමර්ශනයකදී හෙළිදරව් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනොව් 32 ගුවන්යානා කිහිපයක් අළුත්වැඩියා කිරීම සඳහා මැයි 08 වනදා අළුයම 04.10ට යුක්‍රේන ඉංජිනේරුවන් කණ්ඩායමක් රැගත් ගුවන් යානය කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණි අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය ද එම ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ. එහිදී අජිත් රෝහණ මහතා සිය මෝටර් රථය අදාළ ගුවන්යානය පැමිණි ගුවන් පථය කරාම රැගෙන ගොස් ඔහුගේ දියණියව එහි නංවාගෙන පැමිණ ආගමන විගමන නිලධාරීන් කරාගොස් එම කටයුතුත් අවසන් කරගෙන ගුවන් තොටුපල හරහා නොපැමිණ පිටතින්ම ඔහුගේ දියණියව නිවස කරා කැඳවාගෙන ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

නිරෝධායනය පිළිබඳ දිවා රෑ තිස්සේ රටටම රූපවාහිනියෙන් බණ කියූ සහ නිරෝධායනයට නොයන්නන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ අජිත් රෝහණ මහතා සිය පෞද්ගලික කටයුත්තකදී එකී සියලුම නීති රීති රෙගුලාසි බල්ලාට දමා ඇත්තේ එලෙසිනි. 

ගුවන් හමුදා CO ටත් බැන වැදිලා 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ප්‍රමාණයක් මීට දින කිහිපයකට පෙර සිට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන්නට පටන් ගැනීමත් සමඟ අජිත් රෝහණ මහතා කුපිත වී තිබේ. ගුවන් පථයේ ආරක්ෂාව භාරව සිටින්නේ ගුවන් හමුදා අණදෙන නිලධාරියකු බැවින් මෙම තොරතුරු පිටතට ලබාදුන්නේ ඔහු විසින් බවට සැකකර ඇති අජිත් රෝහණ මහතා එකී ගුවන් හමුදා නිලධාරියාව අමතා ඉතා පහත් අයුරින් බැනවැදී ඇති බවත් වාර්තා විය. 

අජිත් රෝහණ මහතා අසභ්‍ය වචනයෙන්ම බැන වදිද්දී ගුවන් හමුදා නිලධාරියා කෙළින්ම ප්‍රශ්න කර ඇත්තේ අජිත් රෝහණ මහතාගේ පුද්ගලික මෝටර් රථය ගුවන් පථය කරාම ඔහු ගෙනගියේ කවර අයිතියක් යටතේද යන්නයි. එසේ පෞද්ගලික මෝටර් රථ ගුවන් පථය කරා ගෙනයන්නේ රාජ්‍ය නායකයින් මෙරටට පැමිණෙන අවස්ථාවලදී පමණක් බව පවසා ඇති බව ගුවන් හමුදා නිලධාරියා අජිත් රෝහණ මහතා කර ඇත්තේ ඔහුගේ තනතුර අවභාවිතා කිරීමක් බවත් පෙන්වා දී ඇත. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ ගැන තමන් කිසිවකුටත් කිසිවක් නොකී නමුත් තමන්ටත් කරන්නට දෙයක් නොමැති බවත් ගුවන් තොටුපලේ එදින සේවය කළ සේවකයින් සියල්ලන්ම කතාව දන්නා බවත්ය. 

එසේම ගුවන් යානය කරාම මෝටර් රථයක් ගමන් කරනා දර්ශනය එදින ගුවන් තොපලේ සේවය කළ සේවකයින් කිහිප දෙනෙකු විසින් ද තම ජංගම දුරකථනවලින් පටිගත කර ඇති බවත් අප වෙත වාර්තා විය. 

අජිත් රෝහණ මහතාගේ දියණිය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් අප මීට සතියකට පමණ පෙර පුවතක් පළ කළ අතර එහි එක් තොරතුරක් වැරදී තිබිණි. අප වෙත මුලින් වාර්තා වූයේ ඩුබායි හි සිට පැමිණි ගුවන් යානයෙන් අජිත් රෝහණ මහතාගේ දියණිය මෙරටට පැමිණි බවකි. ඩුබායි සිට මගීන් 260 දෙනෙකු ගෙන්වා ගැනීම සඳහා දිලිත් ජයවීර මහතා මුදල් ගෙවා තිබුණු අතර අපගේ පුවතෙන් දිලිත් ජයවීර මහතාට යම් අපහසුතාවක් ඇතිවී නම් අපි ඒ පිළිබඳ අපගේ කණගාටුව පළ කරන්නෙමු. අප මීට පෙර පළ කළ පුවත ඉවත් කරගත්තේ ද ඒ හේතුව නිසාය. 

"ස්වාධීන" ෆැක්ට් ක්‍රෙසින්ඩෝ දැන් කියන්නේ මොනවාද ?

අපගේ එම පුවත "සම්පූර්ණයෙන්ම" සාවද්‍ය පුවතක් වශයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නිරීක්ෂණ කටයුතු කරන "ස්වාධීන" ආයතනයක් ලෙස හඳුන්වා ගන්නා ෆැක්ට් ක්‍රෙසින්ඩෝ ආයතනය විසින් නම් කර තිබුණු අතර අජිත් රෝහණ මහතාගේ දියණිය මෙරටට පැමිණ නැති බව ඔවුන්ගේ විමර්ශනවලදී සනාථ වූ බවක් ද ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම ඔවුන් කර තිබුණේ හොරාගේ අම්මාගෙන් සහ හොරාගෙන්ම පේන අසා "ස්වාධීන" ලෙස තීන්දු දීමකි. ඒ හරහා අපගේ ෆේස්බුක් පිටුවට ද යම් බලපෑමක් සිදුව ඇති අතර ඔවුන් දැන් කියන්නේ මොනවාදැයි දැනගැනීමට අපත් ඉතාම කැමතිය. 

විශේෂයෙන් මෙකී ස්වාධීන නිරීක්ෂකයින්ගේ ස්වාධීනත්වය දෝරේ ගලන ස්වභාවය පිළිබඳව අපට ප්‍රශ්න ගණනාවක්ම ඇති අතර ඔවුන් මේ තරම් ස්වාධීනත්වයක් කරා පැමිණි වෘත්තීය ගමන් මාර්ගය ගැන කරුණු පැහැදිලි කරවා ගැනීමට ද මෙය අවස්ථාවක් වනු ඇති. 

රජයේ ඉහළ බලධාරියෙක් පෞද්ගලිකවම මැදිහත් වෙලා

බෙලාරූස් හි අධ්‍යාපනය ලබමින් සිටි අජිත් රෝහණ මහතාගේ දියණිය පෙරකී යුක්‍රේන ගුවන් යානයෙන් මෙරටට ගෙන්වා දීම සඳහා මැදිහත්වී ඇත්තේ රජයේ ඉහළම බලධාරියෙකු බවත් ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කළේය. ඒ සඳහා එම ඉහළම බලධාරියා පුද්ගලිකවම යුක්‍රේනයකට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවත් සඳහන්. 

එමෙන්ම එකී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලට ගොඩබාන අවස්ථාවේදී ගුවන් තොටුපලේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය කර තිබී ඇති අතර ඊට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ අධික ලෙස අකුණු ගැසීම් සිදුවූ බවකි. ජාතික ආරක්ෂාව සම්බන්ධ මර්මස්ථානයක් වන ගුවන් තොටුපලේ කැමරා පද්ධතිය අකුණු ගසනා විට අක්‍රිය කෙරෙන්නේ නම් ජාතික ආරක්ෂාවට අබසරණ බව කුඩා ළමයෙකුට වුවත් වැටහෙනවා ඇතැයි සිතමු. 

කෙසේවෙතත් අපගේ කලින් පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැවසූ අජිත් රෝහණ මහතා මාධ්‍ය ඉදිරියේ උපාසක වෙස් ගනිමින් ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේ තමන්ගේ දියණිය මෙරටට ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්වත් තමන්ට නොමැති බවකි.

මෙවර අප වෙත ලැබී ඇති තොරතුරුත් අසත්‍ය බව ඔහු පවසන්නේ නම් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ CCTV කැමරා පද්ධතිය, ගුවන් හමුදා නිලධාරීන් සහ එදින සේවය කළ ගුවන් තොටුපළ සේවකයින් සියලුම දෙනාම සාක්ෂි වශයෙන් කැඳවා විමසා බලන්නට පුළුවන. 

අජිත් රෝහණ, එන්න අපි නඩු කියමු ! 

අජිත් රෝහණ මහතාණෙනි, ඔබ ද නීතීඥයෙකි. අපගේ කර්තෘ මණ්ඩලයෙන් අඩකට වඩා සිටින්නේ ද නීතීඥයින්ය. ඔබට වඩා බොහෝ ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් ද අපගේ කර්තෘ මණ්ඩලයේ සිටිති. එන්න, අපි නඩු කියමු ! 

එසේ නඩු කියනා විට 1996 වසරේදී ඔබ වලස්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටියදී සැකකරුවකුට කෲර ලෙස වධහිංසා පැමිණවීම තුළින් ඔහුගේ ලිංගේන්ද්‍රිය සදාකාලිකව අප්‍රාණිකවීම සම්බන්ධයෙන් B/103/1996 යටතේ සිදු කෙරුණු විමර්ශනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය යටතේ ඔබට එරෙහිව ලබාදී ඇති, දැනට යට ගසාගෙන සිටින නඩු තීන්දුව ඇතුළු බොහෝ දෑ හෙළිකිරීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු.