විදුලි කප්පාදුවක් නෑ. මණ්ඩලයේ පාඩුව මේ වසරේ කෝටි 10,000 පනීවි - මහින්ද

විදුලි කප්පාදුවක් නෑ. මණ්ඩලයේ පාඩුව මේ වසරේ කෝටි 10,000 පනීවි - මහින්ද

26 February 2020 05:37 am

විදුලිබල මණ්ඩලයේ පාඩුව මේ වසරේදී රුපියල් බිලියන 100 ඉක්මවනු ඇති බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

එනමුත් කවර තත්වයක් යටතේවත් විදුලි කප්පාදුවක් සිදු නොකර, අඛණ්ඩව විදුලිය සපයන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. 

"විදුලිබල මණ්ඩලේ පාඩුව බිලියන 100 ඉක්මවනවා මේ අවුරුද්දෙ. බිලියන ! දැනෙනවා ඇති කොච්චර අපි අමාරු තත්වෙකද ඉන්නෙ කියලා. මං දැන් ඉතාමත්ම වගකීමෙන් කියනවා අපි කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් කරන්නේ නෑ. අපි අඛණ්ඩව, මේ පෑවුම් කාලෙ වුණත් මොන තත්වයක් තුළ වුණත් අපි විදුලි බලය ලබාදෙනවා. 

අපි පහුගිය අවුරුදු පහම බැලුවා මේ කාලය තුළම එක විදුලි බලාගාරයක් හදලා නෑ. දැන් මේ යන විදියට ආයෙ හදන්න බැරිවෙයිද කියන සැකය තිබුණා, නමුත් මම ඒ වෙනුවෙන් තීන්දු ගත්තා. දැනට අපි ලෑස්ති කරලා තියෙනවා ලංකාවෙ පළවෙනි LNG බලාගාරය, පරිසර හිතකාමී විදුලි බලාගාරය මෙගාවොට් 300ක මහා විදුලි බලාගාරය අපි මේ අවුරුද්දෙ අපි කෙරවලපිටියෙ. ඒක අවුරුදු දෙකකින් ඉවර වෙන්න තියෙන්නෙ" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම ඉතාම හොඳ දෙයක් නමුත් විදුලිබල මණ්ඩලය තුළ පවතින විදුලි මාෆියාවට යටවෙමින් අධිමිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමෙන් සිදුවන්නේ සමස්ත ජනතාවම යළි ණයකරුවන් බවට පත්වීමය. 

පසුගිය වසර 5 තුළ විදුලි බලාගාර ඉදි නොවීම සත්‍යයක් වන අතර ඒ වසර 5න් වැඩි කාලයක් තුළ විදුලිබල අමාත්‍යවරයාව සිටියේ මහින්ද අමරවීර මහතාගේම පක්ෂයේ ප්‍රබලයකු වන රංජිත් සියඹලාපිටිය මහතා බව අමරවීර මහතාට අමතක වී ඇති සැටියකි. 

අනෙක් අතට මේ කියන කෙරවලපිටිය LNG බලාගාරයේ ටෙන්ඩර් ක්‍රියාවලිය අතිශයින්ම දූෂිත එකක් බව පසුගිය යුගයේදී හෙළිදරව් වී තිබුණු අතර එහි ඉදිකිරීම් ප්‍රමාද වූයේ ද එම හේතුව මතය. එය දැනට ලබාදීමට සූදානමින් සිටින ලක්දනවි සමාගම කෙරවලපිටියේම ඉදිකළ අනෙක් බලාගාරයෙන් රජයට නිවැරදි ලාභාංශය ලබානොදී තමන් වෙත අධික ලාභාංශයක් ලබාගන්නා බවත් අමාත්‍යවරයා නොදන්නවා විය යුතුය.