රජයේ සාක්ෂිකරුගේ උපන් දින සාදයට විත්තිකරුත් එයි. හිටපු අගවිනිසුරු සාක්ෂි !

රජයේ සාක්ෂිකරුගේ උපන් දින සාදයට විත්තිකරුත් එයි. හිටපු අගවිනිසුරු සාක්ෂි !

25 February 2020 03:21 pm

එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන දෙකෙන්, ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ( රුපියල් කෝටි 14ක පමණ මුදලක්) බැරවී ඇති බව දැනට අනාවරණය වී ඇති දේශීය බැංකු ගිණුමේ හිමිකරුවා වන ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාගේ උපන් දින සාදයක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ. 

මෙහි ඇති විශේෂ තත්වයක් නිසා අපි ඉන් කිහිපයක් මෙසේ උපුටා ගෙන පළ කරන්නෙමු. 

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා බව කියමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන නඩුවේ රජයේ සාක්ෂිකරුවකු වශයෙන් මෙම නිමල් පෙරේරා මහතා නම් කර තිබේ. ඒ අනුව රජයේ සාක්ෂිකරුවාගේ උපන් දින සාදයට විත්තිකරුවා පැමිණ ඇත. 

වියත්මග සංවිධානයේ ප්‍රබලයකු වන නාලක ගොඩහේවා මහතා ද මේ නඩුවට සම්බන්ධය. එවකට විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිවරයාව සිටිමින් මෙම ගනුදෙනුවේ අතරමැදියකු ලෙස ක්‍රියාකිරීම පිළිබඳව ඔහුට ද චෝදනා එල්ල වී තිබේ. 

මේ දිනවල මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් එයාර් බස් වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට රජයෙන් කිසිම බලපෑමක් නොමැති බවට හතර අතේ දිවුරා පොරොන්දු දෙන ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් අමාත්‍යවරයා සමඟම මේ උපන්දින සාදයේ ඡායාරූපවල සිටියි. 

මේ සියල්ලට සාක්ෂි වශයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද හිනැහෙමින් එතැන පෙනී සිටිනු දක්නට ලැබෙයි. 

මේවා ගැන අපට කියන්නට කිසිම දෙයක් නැති අතර ඡායාරූප නිකම්ම බලනවා වෙනුවට කියවා තේරුම් ගැනීම ජනතාව සතු වැඩකි.