ආණ්ඩුව අසාම් අමීන්ට මේ තරම් බය ඇයි ?

ආණ්ඩුව අසාම් අමීන්ට මේ තරම් බය ඇයි ?

19 January 2020 06:10 am

දින දෙකක විරාමයකට පසුව හඬපට විජ්ජාව යළි කරළියට පැමිණ ඇති අතර මෙවර එහි ඉලක්කය වී ඇත්තේ මාධ්‍යවේදී අසාම් අමීන් ය. අසාම් අමීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි වෛරයට පාත්‍ර වූයේ අද ඊයේක සිට නොවේ. 

2018 ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළිය සමයේදී පොහොට්ටුව අසාම් අමීන්ව ඉවසා දරාගත නොහැකි මට්ටමකට පැමිණ සිටි බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. පාර්ලිමේන්තු බහුතර බලය ලබාගත නොහැකි නිසාත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ උත්සාහය ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය හමුවේ ඔප්පුවීම නිසාත් අනාථ වී සිටි ආණ්ඩු පාක්ෂිකයින් සියල්ල පසෙක තබා අසාම් අමීන්ගේ ස්වාධීනත්වය ප්‍රශ්න කරමින් ඔහුට තළන්නට පටන්ගත් අයුරු අපට මතකය. 

2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව ද පොහොට්ටු සාමාජිකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ අසාම් අමීන්ය. අසාම්ගේ පියා කළ ප්‍රකාශයක් වරදවා විග්‍රහ කරමින් එදා ඔවුන් අසාම්ව අපහාසයට, උපහාසයට, ගර්හාවට, තර්ජනයට ලක් කළ අතර අසාම්ගේ පියා කියා තිබුණේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කියන ලද කතාවක්ය යන්න ඔවුන් සතයකට මායිම් කළේ නැත. 

2020 ජනවාරි 18 එනම් ඊයේ දිනයේදී අසාම් අමීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අතර සිදුවූ බව කියන දුරකථන සංවාද හඬපටයක් ආණ්ඩු පාර්ශ්වය විසින් සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබිණි. 

දුරකථන සංවාදය

එම සංවාදය තුළ යාපනයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැළිය ගැන අසාම් පවසන අතර ඔහු අම්පාරේ රැළිය ගැන රංජන් රාමනායක මහතාගෙන් විමසයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රචාරණ රැළියට පැමිණි ආබාධිත දැරියක් දූෂණය කිරීම පිළිබඳ සිද්ධිය යට ගැසීමට ඉඩනොතබන ලෙස ද ඉල්ලීමක් කරයි. එහිදී පවා ඊට පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු සම්බන්ධ බවට රංජන් පවසද්දී එයත් වැරදි තොරතුරක් බව ද අසාම් පෙන්වා දෙයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ තිබුණු හඬපටයකින් දැක්වුණේ මෙපමණක් වූ අතර යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයෙහි තිබුණු වඩා දීර්ඝ හඬපටයකින් දැක්වුණේ එම සංවාදයටම විජිත් විජයමුණි සොයිසා මහතා ද සම්බන්ධ වන ආකාරයකි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පසුකර ඉදිරියට පැමිණ ඇති බව විජයමුණි සොයිසා පවසද්දී අසාම් කියන්නේ තමන්ට නම් එවැන්නක් නොපෙනෙන බවකි. කෙසේවෙතත් සංවාදය අවසානයේදී අසාම් රංජන්ට යම් උපදේශයක් ලබාදෙන බව දැක්වෙන අතර ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමට ද ආමන්ත්‍රණය කරන ලෙසය. එපමණකි. අසාම් අමීන්ව වළලන්නට හදන්නේ ඕකටය. 

අසාම් ප්‍රශ්නයක් වීම සහ ප්‍රශ්නය ඔළුවේ හළාගැනීම

පොහොට්ටුවේ දේශපාලනඥයින්ට අසාම් අමීන් හිසරදයක් වී තිබේ. ඒ, දෙන දෙයක් කා කියන දෙයක් ලියාගෙන යන්නේ නැතිව අසාම් ප්‍රශ්න අසන නිසාය. විශේෂයෙන් පොහොට්ටුවේ කවරෙකු හෝ ලියාදෙන ප්‍රශ්න නොව තමන්ට අවශ්‍ය ප්‍රශ්න අසාම් අසන නිසාය. එසේම දේශපාලකයින් දෙන පිළිතුරු "එහෙමයි සර්" කියා බාර නොගෙන පෙරළා ප්‍රශ්න කරන නිසාය. උදාහරණයක් ලෙස මීට වසර කිහිපයකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී එක් බිම් අඟලක් හෝ විදේශිකයින්ට සින්නක්කරව විකුණා නොමැති බව පැවසූ අතර ඊළඟ සතියේ පැවති මාධ්‍ය හමුවට අසාම් පැමිණියේ ශැංග්‍රිලා ඉඩම් සින්නකරව ලියා දුන් ඔප්පුවත් රැගෙනය. ආචාර්ය බන්ධුලට කට උත්තර නැතිවිය. ඉතින් පොහොට්ටු දේශපාලකයින් අසාම් සමඟ තරහය. 

පොහොට්ටු ගෝලයින්ට අසාම් සමඟ ඇත්තේ ඊට එහා ගිය බරපතළ වෛරයකි. ඒ, රටේ බහුතරයක් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පොහොට්ටු දේශපාලනඥයින් හමුවේ හතර අතට නැවෙමින් ඇඹරෙමින් ප්‍රශ්නයත් පිළිතුරත් දෙකම තමන්ම කියා "එහෙම නේද සර්" යනුවෙන් බැගෑපත්ව අසද්දී අසාම් එසේ නොකරන නිසාය. රට තුළ සාකච්ඡාවට බඳුන්ව පවතින මාතෘකා සම්බන්ධයෙන් අසාම් සෘජුවම තම හාම්පුතුන්ගෙන් ප්‍රශ්න කරනවිට බොහෝ ගෝලයින්ට එය ඉවසා දාරාගැනීමට අසීරු අතර අසාම් මුස්ලිම් ජාතිකයකු වීම මත වෛරය උතුරා යන මට්ටමට පැමිණේ. කතාව ඕකය. 

මල් පත්තරවලට නළු නිළියන්ගේ ඕපාදූප ලියන මාධ්‍යවේදීන්, වැල පත්තරවලට තරුණියන්ගේ ලිංගික ගැටළු ලියන මාධ්‍යවේදීන් වැන්නන් හැර දේශපාලන තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන්ට කොතෙකුත් අවස්ථාවල මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් ලබාගැනීමට සිදුවෙයි. අනෙක් අතට මාධ්‍යවේදින් සහ මන්ත්‍රීවරුන් අතර පුද්ගලික හිතවත්කම් ද ඕනෑ තරම් තිබේ. එවැනි කතාබස්වලදී දේශපාලන උපදෙස් හුවමාරුවන අවස්ථා ද ඕනෑ තරම් ය. මේවා මැජික් නොවේ. 

එහෙත් තමන්ගේම පක්ෂයේ ප්‍රචාරණ රැළිවලට එන ආබාධිත දැරියන්ව රවටාගෙන ගොස් දූෂණය කිරීම නම් නිතර සිදු නොවන්නකි. අසාම්ට තැළීමට ගොස් මෙවරත් ආණ්ඩුවේ හඬපට ධාරීන් කරගෙන ඇත්තේ තම පක්ෂයේ සිටින ස්ත්‍රී දූෂකයින් ගැන යළි එළියට ඇද ගැනීමය. ඔවුන්ගේ ප්‍රබල ප්‍රාදේශීය සභාපතිවරයකු වූ සාරුවා සුනිල්ට බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වසර 15ක සිර දඬුවම් ලැබුණු අළුතම නැවතත් ස්ත්‍රී දූෂණ සිද්ධියක් ඔළුවේ හළාගැනීම කදිමය. මීට පෙර මේ හඬපටි ඔස්තාද්ලා කළේ හිරුණිකාගේ රෙදි ගැළවීමට ගොස් ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරා වන දිලිත් ජයවීර මත්කුඩු ජාවාරම් කරන බවට ප්‍රචාරණය කිරීමය. අප අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් පරිදි ආණ්ඩුව ඇතුළේම සිටින්නේ මෙවැනි මිතුරන් නම් එවැනි ආණ්ඩුවකට පිටින් හතුරන් ඕනෑ වෙන්නේම නැත. 

වඳුරාට කඩුව දුන් කතාව අපි සැවොම දන්නෙමු. මේ ආණ්ඩුව හඬපට බාරදී ඇත්තේ ද ඊට වෙනස් කොටසකට නම් නොවන බව පෙනේ. එය ඔවුන්ගේ වැඩකි. අනෙක් අතට සොහොනක් ළඟින් යනවිට යමෙකු සරම කරට ගෙන කුණුහරුපයෙන් බැනවදින්නේ නම් ඉන් පෙන්නුම් කෙරෙන්නේ අදාළ පුද්ගලයා හොඳටෝම බය වී ඇති බවය. 

බකොළොත්කම පෙන්වීමේ දර්ශකය 

කෙසේවෙතත් ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ අසාම් අමීන්ගේ ස්වාධීනත්වය සොයන්නටම යැයි අපට නම් සිතෙන්නේ නැත. මේ ආණ්ඩුව එවැනි පොරොන්දුවක් දුන්නේත් නැත. බඩුමිල අඩුකිරීම, ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර ඉන්ධන මිල අඩුකිරීම, පොහොර නොමිලේ ලබාදීම, බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් කිරීම, පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් කිරීම වැනි දහසකුත් එකක් පොරොන්දු පසෙක තබා අසාම් අමීන්ගේ ඇඟේ එල්ලීමට ආණ්ඩුවක් උත්සාහ කිරීම යනු ප්‍රහසනයකට වඩා ඛේදවාචකයකි. 

මේ 127,000ක් තිබෙන බව කියන හඬපට අතරින් එළියට දැමිය යුතු ඒවා තෝරන්නේ ආණ්ඩුවේ ඉහළම බලයක් නියෝජනය කරන කණ්ඩායමක් විසින් බව රටට රහසක් නොවේ. ඔවුන් දේශපාලනිකව එදා වේල පියවා ගැනීම සඳහා අසාම් අමීන් වැනි පොඩි කොල්ලෙකු මත්තේ නහින්නට හැදීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව වැටී ඇති වළේ තරම මිස වෙන කුමක්ද ? 

රංජාගේට් හඬපට මුලින්ම කරළියට පැමිණියේ යහපාලනය කොතෙක් කුණුවී තිබිණිදැයි පෙන්වීමටය. එහෙත් මඳ දුරක් යනවිට පෙනුනේ සමස්ත සමාජයම කොතෙක් කුණු වී ඇතිද යන්නය. විශේෂයෙන් ඒවා අසන බෙදාහරින ප්‍රේක්ෂාගාරය කොතෙක් කුණු වී ඇතිද යන්නය. ඊළඟට එය යොමුවුණේ ජනාධිපතිවරයාගේ සමීපතමයින්ට පහර එල්ල කිරීමටය. ඊයේ දිනය වනවිට හඬපට මෙහෙයුම යනු ආණ්ඩුව කොතෙක් බංකොළොත් වී ඇත්දැයි පෙන්වන දර්ශකය බවට පත්ව තිබේ. 

මේ සියල්ලටම අන්තිමේ කරගසන්නට වන්නේ තවත් වසර හතරකුත් මාස අටකට ආසන්න ධුර කාලයක් එහැම පිටින්ම අතේ තිබෙන, ජනතාව ඉඩ ලබාදෙන්නේ නම් තවත් වසර පහක ධුර කාලයක් සඳහා වරමක් ලබාගැනීමට අවස්ථාවත් තිබෙන, සිය පාලනයේ පළමු මාස දෙක පමණක් යන්තම් පසුකරමින් විසඳිය යුතු දස දහස් ගණනක් ප්‍රශ්න දෙස ඇස යොමාගෙන සිටින ජනාධිපතිවරයාටමය. මේ සිල්ලර දේශපාලන සෙල්ලම සම්බන්ධයෙන් ඔහු තීන්දුවක් ගතයුතු වන්නේ ඒ නිසාය. 

සබැඳි පුවත් - 

රංජාගේට් හඬපට හෙළිදරව්වේ අවසන් ඉලක්කය ජනපතිද ?