මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ආණ්ඩුව දැඩි අපහසුතාවකට හෙළයි !

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ආණ්ඩුව දැඩි අපහසුතාවකට හෙළයි !

11 December 2019 01:49 pm

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා දැඩි ජාතිවාදී ස්වරූපයෙන් යුතුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කරන අදහස් නිසා ආණ්ඩුව බරපතළ අපහසුතාවකට පත්වන ලකුණු පහළ වී තිබේ. 

ප්‍රශ්නයට හේතුව ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ Fight Cancer අරමුදලේ නිර්මාණකරු වන එම්. එස්. එච්. මොහොමඩ් මහතා විසින් පිළිකා රෝහලට යන්ත්‍ර මිලදී ගැනීම සඳහා එකතු කළ රුපියල් කෝටි 14ක මුදලක් එම රෝහලට නොලැබෙන බවය. මෙකී අරමුදලේ මුදල් පිළිකා රෝහල වෙනුවෙන් එකතු කළ මුදල් නිසා ඒවා වෙනත් අරමුණක් සඳහා යෙදවෙන්නේ නම් එය ප්‍රශ්න කළ යුතුය. නමුත් එය කළ යුත්තේ මුස්ලිම් ජනතාවට පිළිකුල් සහගත ලෙස අපහාස කරමින්, කාන්තාවන්ට කුණුහරුපයෙන් බැනවදිමින් බජාර් එකේ චණ්ඩියා ක්‍රමවේදයකින් නොවේ. 

Fight Cancer අරමුදල සඳහා මුදල් එකතු කිරීම ප්‍රවර්ධනය කිරීමට ද මේ වෛද්‍ය වසන්ත දිසානායකම දායක වී තිබීම ද ගැටළු සහගත තත්වයකි. ඔහුව විස්වාස කර මීට මුදල් පරිත්‍යාග කළ පිරිස් ද බොහෝ ඇතුවා විය හැකිය. මෙහි ක්‍රියාකාරීත්වය ප්‍රශ්නකාරී නම් ඔහු කළ යුතුව ඇත්තේ පොලිසියට පැමිණිලි කර විමර්ශනයක් ඉල්ලා සිටීමය. තමන් ළඟ ඇති සාක්ෂි ඊට ලබා දීමය. නමුත් ඔහු මේ කරන්නේ එය නොවේ. ඔහු කරන්නේ සිද්ධියට ප්‍රස්තුත පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු වීම නිසා තම්බියා, සූකරයා යනාදී වශයෙන් අපහාස කිරීමත් තමන්ගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන අයට මොහොමඩ්ගේ හොර ගෑණු, වෛශ්‍යාවන් යනාදී වශයෙන් බැණ වැදීමත්ය. 

එසේම තමන්ගේ ජාතිවාදී ප්‍රකාශ සඳහා ජනාධිපතිවරයාව ද ගාවා ගැනීම තුළ රෝහල් අධ්‍යක්ෂවරයා ඉතාම බරපතළ වරදක් කරමින් සිටී. ඔහුගේ හැසිරීම රටාව තුළින් ඔහු පෙන්නුම් කරමින් සිටින්නේ තමන් මෙසේ ඩෙඟා නටන්නේ නව රජයේ බලයෙන් බවකි. එය දේශපාලනිකව නව රජයට කිසිසේත්ම හොඳ තත්වයක් නොවේ. 

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව වෛද්‍ය වෘත්තියට සමාජය තුළ මහත් ගෞරවයක් හිමිවේ. නමුත් මේ වෛද්‍ය වසන්ත දිසානායක පාතාල මැරයකු මෙන් සමාජ මාධ්‍ය තුළ හැසිරෙමින් කරන්නේ එකී ගෞරවය මත වසුරු හෙළිමකි.  

මේ වෛද්‍යවරයා මීට පෙරත් මේ ආයතනයේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර එහිදී නොතිබුණු මේ උග්‍ර ජාතිවාදී කළහකාරී හැසිරීම ඔහුගෙන් පිට පනින්නේ නව රජය බලයට පත්වීමත් සමඟය. එය සැඟවිය හැක්කක් නොවේ. එහි ඇති දේශපාලනික බැරෑරුම් අර්ථය තේරුම් ගැනීම රජය සතු වගකීමකි. 

රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක්, රෝහලක ප්‍රධානියෙක්, එයිනුත් අතිශය සංවේදි පිළිකා රෝහලක ප්‍රධානියෙක් අතිශය ජාතිවාදී ලෙස ප්‍රසිද්ධියේ යකා නටන්නට පටන් ගැනීම යනු කෙබඳු තත්වයක්ද යන්න පිළිබඳ නිවැරදි තක්සේරුවක් රජයකට තිබිය යුතුය. 

වෛද්‍ය වසන්ත දිසානායක වත්මන් ආණ්ඩුවෙහි ප්‍රබල හිතවතෙකුදැයි අප දන්නේ නැත. එහෙත් ඔහු පෙන්වන හැසිරීම ආණ්ඩුවට කොහෙත්ම සුබදායක නොවන බව නම් කිවයුතුය. සාමාන්‍යයෙන් මෙවැනි මිතුරන් සිටී නම් කාටවුවත් වැඩවැරදීමට පිටින් හතුරන් වුවමනා නැත. 

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ තුච්ඡ, නින්දිත හැසිරීමෙන් කොටසක් පහත දැක් වේ. 

වෛද්‍ය වසන්ත දිසානායකගේ ඇතැම් ප්‍රකාශ මෙසේ පළකිරීමටවත් නොහැකි මට්ටමේ ඒවාය.