තව මොනවා කියයිද දන්නෑ. වහාම මෛත්‍රී එක්ක සන්ධානයකට යන්න - මහින්ද

තව මොනවා කියයිද දන්නෑ. වහාම මෛත්‍රී එක්ක සන්ධානයකට යන්න - මහින්ද

17 September 2019 06:29 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට එල්ල කළ චෝදනාව නිසා අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ගැටුම් ඇතිකර නොගන්නා ලෙසත් හැකි ඉක්මනින් ජනාධිපතිවරයා සමඟ සන්ධානයක් ගොඩනඟා ගැනීමට කටයුතු කරන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපදෙස් ලබාදී තිබේ. 

ඊයේ (16) නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් රුපියල් කෝටි දෙසීයක වංචාවක් පිළිබඳව ජනාධිපතිවරයා කළ හෙළිදරව්වෙන් පසු තත්වය කළමනාකරණය කරගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ඉහළම බලධාරීන් පිරිසක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව දැනුම් දී ඇත. 

එහිදී ඒ මහතා පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇතිකර ගනිමින් ඔහුව තවත් ප්‍රකෝප කළහොත් තවත් බොහෝ දෑ එළියට පැමිණිය හැකි බවත් එය තම පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඉතාම අවාසිදායක ලෙස බලපෑ හැකි බවත්ය. 

එහෙයින් හැඟීම්වලට යට නොවී බුද්ධියෙන් කටයුතු කිරීමේ වැදගත්කම මහින්ද රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර තිබේ. 

ඇඟෙන් නෙවෙයි මොළෙන් වැඩ කරන්න ! 

ඒ අනුව, ජනාධිපතිවරයා සමඟ හැකි ඉක්මනින් සන්ධානයක් ගොඩනඟා ගැනීම මේ මොහොතේ ගත හැකි හොඳම පියවර බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ. 

විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශ එතරම් බැරෑරුම් ලෙස ගත යුතු නොමැති බවත් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට යළි අගමැතිකම නොදෙන බව ශපථ කරමින් කියා සිටියත් අවසානයේදී එය යළි දුන් වගත් මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කර ඇත. 

එනිසා බේරාගන්නා ගනුදෙනුවක් බේරාගැනීම ජනාධිපතිවරණයෙන් පස්සට තබා මේ මොහොතේ ජනාධිපතිවරයාගේ සහාය ලබාගෙන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව ඒ මහතා තරයේ අවධාරණය කර ඇති බව සඳහන්. 

උපක්‍රමශීලීව කටයුතු කළ යුතු මොහොතක පුද්ගල අභිමානය පෙරට දමා ගැනීම මෝඩකමක් බව පවසා ඇති ඒ මහතා රාජපක්ෂ පවුල තුළ දේශපාලනය හොඳින්ම දන්නේත් වැඩියෙන්ම අත්දැකීම් ඇත්තේත් තමන්ට බැවින් තමන් කියනා ආකාරයට කටයුතු කිරීමට සියල්ලන්ම වගබලා ගතයුතු බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.