හඬපටයෙන් පසු පොහොට්ටුව තුළ මෛත්‍රීගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ඉහළට !

හඬපටයෙන් පසු පොහොට්ටුව තුළ මෛත්‍රීගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ඉහළට !

16 September 2019 01:06 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය කෙරෙහි කෝපය පළ කරමින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැණවදින හඬපටයක් ඊයේ (15) සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යාමෙන් අනතුරුව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව ඉතාමත්ම ඉහළ මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වේ. 

එක්සත් ජාතික පක්ෂයට ඇමතිය යුතු ඉතාම සුදුසු ආකාරයෙන් ජනාධිපතිවරයා එහිදී අමතා ඇතිය යන්න පොහොට්ටු සාමාජිකයින් බහුතරය අතර මතය වී තිබේ. 

එසේම ජනාධිපතිවරයා පසුගිය වසර හතර හමාරක කාලය තුළ කළ හොඳම කතාව වශයෙන් ද ඇතැම් පොහොට්ටු සාමාජිකයින් විසින් එය උත්කර්ශයට නංවා තිබෙනු දැකගත හැකිවූ අතර පසුගිය වසර හතර හමාරක කාලය තුළ එජාපය සමඟ ආණ්ඩුකරණයේදී ජනාධිපතිවරයාට සිදුවූ කරදර පිළිබඳ පොහොට්ටු සාමාජිකයින්ගේ අනුකම්පාව ද ඔහුට හිමිව ඇත. 

මේ අනුව එදා මෙදාතුර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හදගැස්මට සමාන්තරව යමින් ඔවුන්ගේ හදබසට ආමන්ත්‍රණය කළ විශිෂ්ටතම අවස්ථාව මෙය වශයෙන් හැඳින්විය හැකි බව ද පොහොට්ටුවේ දේශපාලන විශ්ලේශකයින්ගේ නිමගමන වී ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර සන්ධානය ගොඩනැඟීම සඳහා මූලික බාධාවක්ව පැවතියේ පොහොට්ටුවේ බිම්මට්ටමේ සාමාජිකයින් තුළ ජනාධිපතිවරයා කෙරෙහි පැවති අප්‍රසාදයයි. 2015 ජයග්‍රහණය තමන් කෙරෙන් උදුරාගත් පුද්ගලයා ලෙස ඔහු කෙරෙහි යම් වෛරී මනෝභාවයක් ඔවුන් තුළ පැවතිණි. 

එහෙත් ඊයේ නිකුත් වූ හඬපටයෙන් එම බාධාව සම්පූර්ණයෙන්ම වියැකී ඇති අතර ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ ඉතාම ගැළපෙන පුද්ගලයකු වශයෙන් පොහොට්ටුව තුළ ඉමහත්ම ජනප්‍රියත්වයක් උසුළන චරිතයක් බවට පත්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

සබැඳි පුවත් - 

මෛත්‍රී - සජිත් සන්ධානයට එරෙහිව හඬපට කුමන්ත්‍රණයක් !