ජාතික ගැටළුව ගැන මොකුත්ම නොදන්නා සජිත් එක්ක අපට මොන ආණ්ඩුද ? - TNA මූණටම කියයි

ජාතික ගැටළුව ගැන මොකුත්ම නොදන්නා සජිත් එක්ක අපට මොන ආණ්ඩුද ? - TNA මූණටම කියයි

16 September 2019 06:44 am

ජාතික ගැටළුව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක්, ක්‍රියාකාරීත්වයක්, සංවේදීතාවයක් හෝ උනන්දුවක් නොමැති සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තමන්ට නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සෘජුවම ප්‍රකාශ කර තිබේ. 

සජිත් පාර්ශ්වය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාව ඊයේ (15) පෙරවරු 11.00ට පමණ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේදී ආරම්භ විය. ඊට සජිත් පිල වෙනුවෙන් කැරලි නායක මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් සහභාගී වූ අතර සාකච්ඡා සම්බන්ධීකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වී ඇත. 

එහිදී සාකච්ඡාව ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් මුලින්ම සජිත් පිලෙන් විමසා තිබුණේ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඉදිරි වසර 10 වෙනුවෙන් ඔවුන්ට ඇති සැලැස්ම කුමක්ද යන්නය. එසේම ඒකපුද්ගල ආදායම ඩොලර් 4000ට පැමිණීමේදී ශ්‍රී ලංකාව හසුවන "මධ්‍ය ආදායම් උගුල" පිළිබඳ සජිත් පිලට ඇති විසඳුම කුමක්දැයි යන්නත් අමාත්‍යාංශ 30 සඳහාව වෙන් වෙන්ව ක්‍රියාකාරී සැලසුම් ඔවුන්ට ඇතිද යන්නත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විමසා ඇත. 

ඊට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා පවසා ඇත්තේ ඒ සියල්ල ඉදිරියේදී සකස් කර දිය හැකි බවයි. 

ජාතික ගැටළුව ගැන මොකුත් නොදන්නා දේශපාලන ළදරුවෙක් 

ඉන් අනතුරුව මාතෘකාවට අවතීර්ණ වෙමින් දෙ.ජා.ස. නායක ආර්. සම්බන්ධන් මහතා විමසා ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාකාරී ඉතිහාසයක් තබා ඒ ගැන දැනුමක්, අවබෝධයක්, සංවේදීතාවයක් හෝ අවම වශයෙන් උනන්දුවක්වත් නොමැති දේශපාලනික ළදරුවකු වන සජිත් ප්‍රේමදාසට තමන් සහාය දෙන්නේ කෙසේද යනුවෙනි. 

තමන්ට තමන්ගේ ජනතාව හැමදාමත් රැවටීමට ඉඩදිය නොහැකි බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ. 

එහිදී ඊට මැදිහත් වෙමින් මංගල සමරවීර මහතා පවසා ඇත්තේ තමන්ට මේ සියල්ල නිවැරදි කරගැනීමට හැකි බවත් සජිත් ප්‍රේමදාස යනු තමන්ට හදා ගත හැකි පුද්ගලයකු බවත්ය. 

සම්බන්ධන් මහතා දිගටම අදහස් දක්වමින් විමසා ඇත්තේ මෙතක් ඉතිහාසය තුළ මේ පිළිබඳව වචනයක් හෝ කතා නොකළ සජිත් ප්‍රේමදාසව එක්වරම පැරෂූටයකින් ගෙන්විත් මැදට බැස්සා ඔහුව විස්වාස කරන්නැයි තමන්ට කියන්නේද කියාය. 

ඉතිහාසය පුරාම සිදුවූයේ ඡන්ද කාලයට මේ ආකාරයෙන් පොරොන්දු ලබාදීම බවත් තමන් හැමදාමත් රැවටුණු නමුත් ඊටත් සීමාවක් තිබිය යුතු බවත් ඒ මහතා තදින් අවධාරණය කර තිබේ. 

මංගල, රාජිත වැනි අය නම් ඉතිහාසය තුළ ජාතික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා දිගටම පෙනී සිටිය නමුත් සජිත් ප්‍රේමදාස යනු බලය බෙදීම යන දේශපාලන සංකල්පය තබා ඊට අදාළ පාරිභාෂික වචනවල තේරුමවත් නොදන්නා අයෙකු බවත් සම්බන්ධන් මහතා පෙන්වා දී ඇත. 

මංගල සමරවීර මහතා මීට පිළිතුරු දෙමින් " නෑ, ඒක එහෙමමත් නෙවෙයි. අපට පුළුවන් සජිත්ව හදලා ගන්න. අපි එයාව හදලා ගන්නම්. දැනට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය විතරක් අපට දෙන්න. 

ඔයාලගෙ මන්ත්‍රීවරු හැමෝම වගේ කැමතියි, මේකට අකමැති එකම එක්කෙනා තමයි මේ සුමන්දිරන්. සුමන්දිරන් විතරයි මේකට අකමැති" යනුවෙන් පවසා තිබේ. 

මෙම ප්‍රකාශය ඇසීමෙන් සුමන්දිරන් මහතා මෙන්ම සම්බන්ධ මහතා ද දැඩි කෝපයට පත්ව ඇත. 

UNP පසුපෙළ මන්ත්‍රීලා බාගත්තා වගේ අපිව බාගන්න හිතන්න එපා !

"කැත වැඩ කරන්න එපා මංගල. ඔයගොල්ලෝ මහා කැත වැඩක් කරනවා. අපේ මන්ත්‍රීවරු එක එක්කෙනාට වෙන වෙනම කතා කරලා කැමැත්ත ගන්න හදනවා. ටී.එන්. ඒ. එක කියන්නේ යූ.එන්.පී. එක වගේ එකක් නෙවෙයි. අපි පක්ෂයක් විදියට හැමෝම එකටයි කතා කරලා වැඩ කරන්නේ. අපේ ප්‍රශ්න ගැන වගේම දකුණේ දේශපාලනඥයෝ ගැනත් හොඳම දැනුමක් තියෙන අපේ කෙනා තමයි සුමන්දිරන්. එයාගෙ මතය හරියටම හරි කියලා තමා ඔයාලා ඔතනිනුත් ඔප්පු කරන්නෙ. ඔයාලා යූ.එන්.පී. එකේ පසුපෙළ මන්ත්‍රීවරු බාගන්නවා වගේ අපේ මන්ත්‍රීවරුත් බාගන්න හිතන්න එපා !" යනුවෙනුයි සම්බන්ධන් මහතා තදින් පවසා ඇත්තේ. 

ඉන් ඉදිරියට සාකච්ඡාව සාර්ථක කරගැනීම සඳහා මංගල සමරවීර මහතා සජිත් වෙනුවෙන් දැඩි උත්සාහයක නියැළුණ ද ඒ වනවිටත් එය පීලිපැන අවසන්ව තිබිණි. 

රනිල් අගමැති වෙන්න ඕනෑ 

දෙමළ ජාතික සන්ධානය සජිත් පිළිබඳ සිය ස්ථාවරය වෙනසක් නොකර ඇති අතර ජාතික ගැටළුවට විසඳුම් සෙවීම පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයකු අග්‍රාමාත්‍ය තනතුරට පත්වීම ද අනිවාර්ය බව අවධාරණය කර තිබේ. ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් වුවත් ඊළඟ ආණ්ඩුවේත් අග්‍රාමාත්‍ය තනතුර රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. ඔහු නොවේ නම් මංගල හෝ රාජිත හෝ එවැනි ජාතික ගැටළුව පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයකු අග්‍රාමාත්‍ය තනතුරට පත්වීම යුගයේ අවශ්‍යතාවක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

එසේම පසුගිය වසර හතර හමාර තුළ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට මුහුණ දෙන්නට සිදුවූ බාධක පිළිබඳව ද තමන් දන්නා බව පවසා ඇති ඔවුහු සියල්ල සලකා බලා පක්ෂයක් ලෙස තමන් තීරණයක් ගන්නා බවත් දැනුම් දී ඇත. 

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් මූලික ඉලක්කයම සපුරා ගැනීමට සජිත් පිළ අසමත් වී තිබෙන බව පෙනේ.