දිවයිනට තවත් සාෆි කෙනෙක් හමුවෙලා ....

දිවයිනට තවත් සාෆි කෙනෙක් හමුවෙලා ....

25 August 2019 08:04 am

කිලිනොච්චි, පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සිවරූබන් මහතා පසුගිය අගෝස්තු 18 වනදා යුධ හමුදා බුද්ධි අංශය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. 

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත පණගැන්වීම සඳහා කටයුතු කිරීම යන චෝදනා යටතේය. 

දැනට ඒ මහතා දින 90ක රැඳවුම් නියෝග යටතේ යාපනය ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ රඳවාගෙන සිටී. 

රාජපක්ෂලාගේ අමාරුකම සහ කොටි නැඟිටීම

රාජපක්ෂලා පාලනය දැරූ කාලයේ පටන්ම ඔවුන් යම් දේශපාලනික අපහසුතාවකට, පසුබෑමකට, දුර්වලත්වයකට පත්ව සිටි සෑම අවස්ථාවකදීම කොටි නැඟිටීමක් පිළිබඳ මොරදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. 

තමන් අමාරුවේ වැටුණු සෑම අවස්ථාවකදීම ඔවුන් කළේ කොටි හමට තඩිබාමින් යුධ ජයග්‍රහණයේ සිංදුව වාදනය කිරීමය. 

මෙවරත් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් බිලියනයක් පමණ වැය කරමින් ආරම්භ කළ ප්‍රචාරණ ව්‍යාපෘතිය ලත් තැනම ලොප් වී ඇති හෙයින් යළි කොටි නැඟිටීමක් පිළිබඳව ආන්දෝලනයක් මතු කිරීමට උත්සාහ දරමින් සිටී. 

ඝාතන කුමන්ත්‍රණ සහ දේශපාලන කුමන්ත්‍රණ 

මීටපෙර ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කතාවක් කරළියට පැමිණියේය. ඒ පසුගිය සැප්තැම්බරයේදීය. නාමල් කුමාර නමැති, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ බලකායේ සාමාජිකයකු මාධ්‍ය හමු කිහිපයක් පවත්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බව ප්‍රකාශ කළ අතර ඔක්තෝබර් අග වනවිට ආණ්ඩුව ද පෙරළා දමා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති තනතුරට ද පත් කරනු ලැබිණි. 

එහෙත් අවසානයේ දේශපාලන කුමන්ත්‍රණය ද ආපසු හැරී දින 52ක් තුළ ආණ්ඩුව ද බිඳ වැටුණු අතර ඝාතන කුමන්ත්‍රණ කතාව අමූලික බොරුවක් බව විමර්ශනවලදී අනාවරණය විය. 

මෙවරත් සාක්ෂි නෑ 

මෙවරත් කුමන්ත්‍රණ කතාව කරළියට ගෙන ආ වහාම යුධ හමුදා බුද්ධි අංශය ක්‍රියාත්මක වී පලෙයි රෝහලේ වෛද්‍යවරයාව අත් අඩංගුවට ගෙන තිබේ. මේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන හාංකවිසියක දෙයක් නොදැන සිටි බව කියූ යුධ හමුදා බුද්ධි අංශයමය. රටේ විශාලතම බුද්ධි නිලධාරීන් සංචිතය තමන් සතුව තිබියදීත් පාස්කු ප්‍රහාරයට ගැන අකුරක්වත් සොයා ගැනීමට බැරිවුණු හමුදා බුද්ධි අංශය මෙවර සියල්ලටම කලින් සැකකරුවකු අත් අඩංගුවටත් ගෙන තිබීම ඉතාම සිත් ඇදගන්නා සුළුය. 

කෙසේවෙතත් හමුදා බුද්ධි අංශය විසින් නීති ප්‍රකාරව වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදීමෙන් අනතුරුව වෛද්‍යවරයාට අයත් කිලිනොච්චියේ පිහිටි පෞද්ගලික රෝහලක් සම්පූර්ණයෙන්ම සෝදිසි කරමින් ස්ථානීය පරීක්ෂනයක් සිදුකර ඇතත් සැකකටයුතු කිසිවක්ම ඉන් හමුවී නැත. 

මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික රෝහලේ බොහෝ විට මුදල නොතකා සුබ සාධන කටයුත්තක් වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර සේවා සපයා ඇති බව පමණක් ඔවුන්ට සොයාගැනීමට හැකිව තිබේ. 

මේ අනුව ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇනගෙන, මඟට බසින්නට බැරිව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට මාධ්‍ය කෙරෙන් සැඟවී සිටීමේ වහන්තරාවක් වශයෙනුත් වෛද්‍ය සාෆිට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු නොවීම නිසා ගලේ පැහැරූ බලළුන් බවට පත්ව සිටින ගෝඨාවාදී මාධ්‍ය ආයතනවලට සැනසුම් සුසුමක් සහ විකුණාගෙන කෑමේ අලුත්ම ගොදුරක් වශයෙනුත් වෛද්‍ය සිවරූබන් මින් ඉදිරියට කරළියට ගෙනෙනු ඇත.