ලසන්ත, තාජුඩීන්, එක්නැලිගොඩ විමර්ශන නිලධාරීන් වහාම මාරු කරනු - නීතිපතිගෙන් නියෝගයක් !

ලසන්ත, තාජුඩීන්, එක්නැලිගොඩ විමර්ශන නිලධාරීන් වහාම මාරු කරනු - නීතිපතිගෙන් නියෝගයක් !

25 August 2019 06:48 am

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් වහාම මාරු කරන ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ. 

මෙම විමර්ශන කටයුතු මෙතෙක් කල් අවසන් කිරීමට නොහැකි වී ඇති හෙයින් මෙම විමර්ශන නිලධාරීන්ගෙන් ඵලක් නොමැති බව ප්‍රකාශ කර ඇති නීතිපතිවරයා වහාම ඔවුන්ව මාරු කර වෙනත් නිලධාරීන් ඊට පත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව සඳහන්. 

විධායක නීතිපති කෙනෙක් ?

නීතිපතිවරයාගේ රාජකාරි වගකීම වන්නේ පොලිස් දෙපාර්තමේන්තු ඇතුළු ආයතන විසින් එවන විමර්ශන ගොනු පරීක්ෂා කර බලා නඩු පැවරීම සඳහා උපදෙස් ලබාදීමය. ඔහුට කිසිවිටෙක විධාන නිකුත් කිරීමේ බලයක් නැත. එහෙත් වත්මන් නීතිපති දප්පුල ලිවේරා මහතා සිය රාජකාරි සීමාවන් ඉක්මවා යමින් තමන් විසින්ම තමන්ව "විධායක නීතිපතිවරයකු" බවට පත් කරගෙන සිටින බව පෙනේ. 

විමර්ශන පමාවීමේ හේතුව සහ නීතිපතිගේ වුවමනාව 

ඉහත කී විමර්ශන තුනම අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ නාවික හමුදාව සහ යුධ හමුදාව විසින් ඊට අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම නිසා බව අපි නොයෙක්වර පෙන්වා දුන්නෙමු. මෙම අපරාධ තුනට එම හමුදාවන් දෙකෙහි සාමාජිකයින් සම්බන්ධවී ඇති බවට තොරතුරු මෙතෙක් විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඉන් ඉදිරියට ගොස් සැබෑ මිනීමරුවන් අල්ලා ගැනීම වැළැක්වීම සඳහා දේශපාලන වුවමනාවන් මත ඉහත කී හමුදාවන් තොරතුරු ලබා නොදී සිටී. 

සැබෑ හේතුව මෙය වෙද්දී නීතිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ මෙම අපරාධවලට සම්බන්ධ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නිදොස් කොට නිදහස් කිරීමටය. දැනට මෙම විමර්ශනවල නියැළෙන නිලධාරීන් නීතිපතිගේ වුවමනාව පරිදි කටයුතු නොකරන නිසා ඔවුන්ව මාරු කර යවා තමන්ගේ පදයට නටන නිලධාරීන් පිරිසක් එතැනට පත් කරගැනීමට නීතිපතිවරයාට දැඩි වුවමනාවක් සහ හදිසියක් පහළ වී තිබේ. 

නීතිපතිගේ පෙර හැසිරීම් සහ අනාගතය 

දප්පුල ලිවේරා මහතා නීතිපති වීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වශයෙන් බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයට දායක විය. එහිදීත් ඔහු සීමාව ඉක්මවා යමින් සාක්ෂි කරුවන්ට බලපෑම් කරමින් තමන්ට අවශ්‍ය ආකාරයට සාක්ෂි ලබාගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල විය. 

ඔහු එසේ කටයුතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි තම පක්ෂපාතීත්වය පෙන්වීම සඳහාය. ඊට ප්‍රතිලාභ ලෙස ඔහුට නීතිපති තනතුර ලැබිණි. 

දප්පුල ලිවේරා මහතාට මෙම තනතුර ලැබෙද්දීම අපි මෙම ඉතිහාසය මතක් කරමින් මොහුගේ සීමාව ඉක්මවා කටයුතු කිරීම් මෙතැනින් නතර නොවන බවට අනතුරු හැඟවූයෙමු. දැන් එය යළි යළිත් සැබෑවක් වී තිබේ. 

දැන් දප්පුල ලිවේරා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි තමන්ගේ පක්ෂපාතීත්වය ඔප්පු කිරීම සඳහා විමර්ශන නිලධාරීන් මාරු කරන තැන දක්වාම සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටී. තමන්ට නැති විධායක බලයක් ඔහු ඒ සඳහා ආරෝපණය කරගෙන සිටී. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රවේශම් නොවන්නේ නම් නීතිපතිවරයා ජනාධිපති සතු විධායක බලතලත් තමන් වෙත පවරාගෙන කටයුතු කරන දිනය වැඩි ඈතක නොවනු ඇත.