ජනාධිපති වෙන්න හදන සජිත්ගේ පාර්ලිමේන්තු කෙරුවාව - 94/224

ජනාධිපති වෙන්න හදන සජිත්ගේ පාර්ලිමේන්තු කෙරුවාව - 94/224

23 August 2019 07:32 am

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට තමන් කවර ආකාරයෙන් හෝ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශපථ කරමින් සිටී. සජිත් පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ එජාපයෙන් අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව වෙනත් පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවකි. 

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා තමන්ට ඇති මූලික සුදුසුකම ලෙස පෙන්වන්නේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාව තමන්ට කැමතිය යන්නය. එයත් කිසිදු ආකාරයක සංගණන ප්‍රතිඵලයක් අනුව ඔප්පු කරමින් නොව ඔහුට සහ ඔහුට හිතවත් මන්ත්‍රීවරුන්ටත් සිරස මාධ්‍ය ජාලයටත් සිතෙනා ආකාරයට කියනවා පමණකි. 

කෙසේවෙතත් රටක විධායක ජනාධිපති ධුරයට ඇති ඉහළම සුදුසුකම ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාවගේ කැමැත්ත පමණක් නම් නොවේ. මන්දයත් එය ගමේ මරණාධාර සමිතියක සභාපති ධුරයකට වඩා බොහෝ වගකීම් සහිත තනතුරක් බැවිනි. ගම්මට්ටමේ බිම්මට්ටමේ ඇවිදිමින් ජනතාවගේ මුදලින්ම තමන්ගේ නම ගසා සමරු ඵලක විවෘත කරනවාට වඩා බොහෝ භාරදූර කර්තව්‍යයන් ඊට ඇති බැවිනි. 

එහෙයින් අපි සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ මඳක් සොයා බලමු. 

සජිත් ප්‍රේමදාස යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙකි. වෘත්තීයමය දේශපාලකයකු වශයෙන් ගත් කළ ඔහුගේ රැකියාවේ මූලස්ථානය වන්නේ පාර්ලිමේන්තුවයි. තමන්ට පැවරී ඇති අමාත්‍යාංශයේ කටයුතු පමණක් වෙනම කරගෙන යාමේ හැකියාවක් කිසිදු අමාත්‍යවරයකුට නොමැති අතර පාර්ලිමේන්තුව තුළ සිදුකෙරෙන නීති, අණ පනත් සකස් කිරීමේ ක්‍රියාවලියට ඔවුන් දායකවිය යුතුමය. 

සජිත් ප්‍රේමදාසගේ ස්ථානය 

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීයත්වය අනුව manthri.lk වෙබ් අඩවිය මඟින් සිදු කරන ශ්‍රේණිගත කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇත්තේ මන්ත්‍රීවරුන් 224 දෙනෙකු අතරින් 94 වන ස්ථානයයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරින්ද ඔහුට ලැබී ඇත්තේ 38 වන ස්ථානයයි. මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පාදක කරගත් මාතෘකා 15ක් අතරින් ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇත්තේ මාතෘකා 7ක් සම්බන්ධයෙන් පමණි. 

මෙම මන්ත්‍රී ශ්‍රේණිගත කිරීමේදී සලකා බලන්නේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවකි. 

ඒ අනුව රටේ ඉහළම තනතුරට තමන්ට සුදුසුකම් ඇතැයි පවසන සජිත් පාර්ලිමේන්තු කටයුතුවලට, එනම් ආණ්ඩුව පවත්වාගෙන යාමේ කටයුතුවලට මෙතෙක්ම දක්වා ඇත්තේ ඉතාමත්ම අඩු අවධානයක්, කැපවීමක් බව මෙයින් පෙනේ. 

සජිත් පාර්ශ්වයේ අනෙක් කෙරුමෝ

සජිත් නොමැති නම් ඔහුට සහාය දක්වන කණ්ඩායමේ ප්‍රබලයින් හෝ වඩාත් සක්‍රීයව ආණ්ඩුකරණයට දායක වී ඇත්දැයි විමසා බලමු. 

සජිත් වෙනුවෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ කැරලි මෙහෙයවන කැරලි නායකයා වී සිටින්නේ එජාප හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතාය. ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට හිමිව ඇත්තේ 117 වන ස්ථානයයි. එජාපෙ තුළ ඔහු 50 වෙනියාය. 

සජිත් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද රහස් සාකච්ඡා පවත්වන එජාප සභාපති කබීර් හෂීම් මහතා මන්ත්‍රීවරුන් 224 දෙනා අතරින් 57 වෙනියාය. පක්ෂය අනුව ඔහුට ලැබී ඇත්තේ 25 වන ස්ථානයයි. 

සජිත්ට අපේක්ෂකත්වය නොලැබුණොත් දේශපාලනයෙන් සමුගන්නා බව කියන, සජිත් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට පවා සූදානම් බව කියන හරීන් ප්‍රනාන්දු මහතාගේ තත්වයත් අපූරුය. ඔහු සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි 140 වන ස්ථානයත් එජාපෙ මන්ත්‍රීවරුන් අතරින් 62 වන ස්ථානයත් හිමි කරගෙන සිටී. 

සජිත් පාර්ශ්වයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් අතරින් පාර්ලිමේන්තුවේ සක්‍රියත්වයෙන් ඉහළින් සිටින්නේ අජිත් පී. පෙරේරා මහතාය. ඔහු 224 අතරින් 24 වන ස්ථානයත් එජාපෙ මන්ත්‍රීවරුන් 106 දෙනා අතරින් 10 වන ස්ථානයත් හිමිකර ගෙන ඇත.  

මින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ සජිත් වටා සිටින්නේ ද සජිත් වැනිම පාර්ලිමේන්තු දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙලෝ රහක් නැති පිරිසක් බවය. 

රනිල් සහ රනිල් පාර්ශ්වය

මීට සාපේක්ෂව බලන කල එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 අතරින් 19 වන ස්ථානය හිමිකර ගෙන සිටී. එජාපෙ මන්ත්‍රීවරුන් අතර ඔහු සිටින්නේ 07 වන ස්ථානයේය. ශ්‍රේණිගත කිරීමට පාදක කරගත් මාතෘකා 15ම ආවරණය වන පරිදි ඔහු පාර්ලිමේන්තුව තුළ සිය දායකත්වය සපයා තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතාට විවෘතවම අභියෝග කරන, ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියකු වන එජාප උප සභාපති රවී කරුණානායක මහතා සමස්ත මන්ත්‍රීවරුන් අතර 18 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔහු පක්ෂය තුළ 06 වන ස්ථානය දරයි. 

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මන්ත්‍රීවරුන් 224 අතරින් 30 වන ස්ථානයත් එජාපෙ මන්ත්‍රීවරුන් අතරින් 12 වන ස්ථානයත් දරයි. 

සජිත්ගේ නොහැකියාවේ තරම 

මේ අනුව බලනකල වෘත්තීයමය දේශපාලනඥයකු වශයෙන් සහ ආණ්ඩුවක පාර්ශ්වකරුවකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුකරණය කෙරෙහි, පාර්ලිමේන්තු කටයුතු කෙරෙහි ඉතාම අඩු අවධානයක් සහ අඩු සහභාගීත්වයක් සහ අඩු අත්දැකීම් ඇති පුද්ගලයකු බව තහවුරු වේ. 

එසේම සජිත් ප්‍රේමදාස යනු රටේ ජාතික මට්ටමෙහි ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තබා අදහස් දැක්වීමටවත් දැනුමක්, අවබෝධයක් හෝ අවම වශයෙන් උනන්දුවක්වත් නොමැති හුදු ලාභ ජනප්‍රියත්වය පසුපස පමණක් හඹායන අතිශයින් සීමිත පරාසයක් තුළ පමණක් ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති කිසිසේත් පරිණතභාවයක් අත්පත් කර නොගන්නා නුපුහුණු මට්ටමේ දේශපාලනඥයකු බවත් මින් ඔප්පු වේ. 

සජිත්ගේ ගෝලයින් යනු ඊටත් එහා ගිය පිරිසක් බවත් මේ හරහා පෙන්නුම් කෙරේ. 

මීට පිළිතුරු ලෙස සජිත් සදා සැමතැන දිගහරින ගම් උදාව පෙන්වීමට එන අයට කියන්නට ඇත්තේ සජිත් ගම් උදා නිවාස ණය දෙන්නේ හතර මහා නිධානය පහළ වීමෙන් ලද මුදල්වලින් නොව, ආණ්ඩුවෙහි සෙසු සාමාජිකයින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාව වෙතින් සහ විදෙස් ණය, ආධාර වශයෙන් සොයාගන්නා මුදල්වලින් බවත් එසේ මුදල් සොයාගන්නට නම් ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතු බවත් සජිට ඒ පිළිබඳව සත පහක වැටහීමක් හෝ උනන්දුවක් හෝ හැකියාවක් නොමැති බවත්ය.