තමුන් හදන්නේ මගෙයි ගෝඨාභයගෙයි සම්බන්ධය නැති කරන්නද ? - නීතිපති අසයි !

තමුන් හදන්නේ මගෙයි ගෝඨාභයගෙයි සම්බන්ධය නැති කරන්නද ? - නීතිපති අසයි !

23 August 2019 06:45 am

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී "ද නේශන්" පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් දරුණු ලෙස පහරදී වධ හිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේදී මෙම අපරාධයට සම්බන්ධ සුමිත් නම් යුධ හමුදා සාමාන්‍ය සෙබළෙකු පිළිබඳ තොරතුරක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබිණි. 

මෙම සෙබළා අදාළ අපරාධයට සම්බන්ධ බවට සාක්ෂි ද හමුවූ හෙයින් ඔවුන් ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලදී. 

කීත් නොයාර්ට පහරදීම පිළිබඳ නඩු ගොනුව භාරව සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මියයි. ඒ අනුව ඒ මහත්මිය නියමිත ක්‍රමවේදයට අනුව අදාළ සැකකරුව අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත. 

"තමුන් හදන්නේ මගෙයි ගෝඨාභයගෙයි සම්බන්ධය නැති කරන්නද ?"

මේ අතර මෙය නීතිපති දප්පුල ලිවේරා මහතාට ආරංචි වී ඇති අතර ඔහු වහාම ලක්මිණි ගිරිහාගම මහත්මියව කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. දැඩි කෝපයෙන් යුතුව දීර්ඝ ලෙස බැනවැදී ඇති නීතිපතිවරයා එක්වරම ලක්මිණි මහත්මියගෙන් ප්‍රශ්න කර ඇත්තේ "තමුන් හදන්නේ මගෙයි ගෝඨාභයගෙයි සම්බන්ධය නැති කරන්නද ?" යනුවෙනි. 

මෙම ප්‍රශ්නය හමුවේ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය මහත් විමතියට පත්ව ඇති අතර කට වැරදුණු බව නීතිපතිවරයාට තේරී ඇත්තේ මඳ වේලාවකට පසුවය. 

"කරන හැම දෙයක්ම මට දැනුම් දීලා මගේ අනුමැතිය ඇතිව විතරක් කරනවා" යැයි තරයේ අවධාරණය කළ නීතිපතිවරයා ලක්මිණි මහත්මියව පිටත් කර යවා ඇත. 

CIDයේ ප්‍රතිචාරය

නීතිපතිවරයාගේ බලපෑම හමුවේ කරකියාගත දෙයක් නොවූ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ. අදාළ සැකකරුවා අත් අඩංගුවට ගන්නැයි ඇය මුලින් උපදෙස් ලබාදී තිබුණේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාටය. ඔහුව යළි අමතමින් කිසිදු අත් අඩංගුවට ගැනීමක් සිදු නොකරන ලෙස නීතීඥවරිය ප්‍රකාශ කර ඇත. 

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් නිශාන්ත සිල්වා මහතා පවසා ඇත්තේ "මැඩම්, අපි මැඩම් කලින් දීපු උපදෙස් අනුව එයාව අත් අඩංගුවට ගන්න කණ්ඩායමක් පිටත් කරලා ඉවරයි. දැන් ඒක නවත්තන්න බෑනෙ. එහෙම කෙරෙන්න විශේෂ හේතුවක් තියෙනවා නම් කොහොම වුණත් මේවා ටෙලිෆෝන්වලින් කරන්න පුළුවන් වැඩ නෙවෙයිනෙ. මැඩම් අපට ලිඛිතව උපදෙස් දෙන්න, අපි ඒ විදියට වැඩ කරන්නම්" යනුවෙනි. 

ලක්මිණි ගිරිහාගම අධිනීතීඥවරිය ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. 

ගෝඨාභයට එරෙහි නඩුවල ඉරණම 

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දැනට සිදු කෙරෙන නීතිමය ක්‍රියාමාර්ගවලට පොදුවේ සිදුවීමට නියමිත දේ මෙයින් පැහැදිලි වේ. නීතිපති දප්පුල ලිවේරා ඒ ගැන කලින්ම කියා තිබේ. 

පසුගිය කාලය පුරාවටම ගෝඨාභය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ අමුතුම අද්භූත ආකාරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා ඔහුගේ නඩුවලින් පෝලිමට ඉල්ලා අස්වීමෙන් පෙන්නුම් කෙරිණි. මේ, එහිම දිගුවයි. 

සරලවම කියන්නේ ගෝඨාට එරෙහි නඩු යනු "නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ" වැනි තත්වයකට දැන් පත්ව ඇත. එහෙයින් නීතිපතිවරයාගේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයේ ප්‍රබලත්වය අනුව ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට එරෙහි සියලුම චෝදනාවලින් නිදොස් වී නිදහස් වනු ඇත. 

සැමටම නීතිය සමානව ක්‍රියාත්මක කරවන බවට පොරොන්දු දෙන්නේ මේ ආකාරයෙන් නීතිය රෝල්කර සාක්කුවේ දමාගෙන සිටින අය ය.