CID ශානිට ජම්පර් අන්දන්න හදන පොහොට්ටු පෙරකදෝරුවන්ගේ කැරැට්ටුව මෙන්න !

CID ශානිට ජම්පර් අන්දන්න හදන පොහොට්ටු පෙරකදෝරුවන්ගේ කැරැට්ටුව මෙන්න !

29 July 2019 06:46 am

අනාගතයේ බිහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව සිරගත කරන බව පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමයක් වන "නීතීඥ සංවිධාන ජාතික එකමුතුව" විසින් තර්ජනය කරන ලදී. 

එම සංගමයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා ඉතාම පැහැදිලිව එහිදී පැවසුවේ වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීමට අදාළව, ශානි අබේසේකර මහතාට ඉදිරියේදී ජම්පර් ඇඳීමට සිදුවනු ඇති බවයි. 

පොහොට්ටුව වියරුවෙන්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට වඳ සැත්කම් චෝදනා එල්ල කර, ඒ හරහා දැවැන්ත මුස්ලිම් විරෝධයක් නිර්මාණය කර, එය දිවයින පුරා ව්‍යාප්ත කෝලාහලයක් මට්ටමට අවුළුවා, සිංහල ජාතියෙහි ගැළවුම්කරුවන් මෙන් පෙනී සිටිමින් ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම ඒ තුළින් සිදුකිරීමට පොහොට්ටුව කළ සැළසුම ව්‍යර්ථ වී ගියේ මෙම කුමන්ත්‍රණයේ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය මඟින් හෙළිවූ නිසාය. 

තමන්ට සුළු ජාතීන්ගේ ඡන්ද නොලැබෙන බව පොහොට්ටුව හොඳින්ම දනී. ඒ නිසා ඔවුන්ගේ උපක්‍රමය වී ඇත්තේ සුළු ජාතීන් කෙරෙහි දැඩි වෛරයක් නිර්මාණය කරමින් සිංහල ඡන්ද කුට්ටිය පිටින් තමන් වෙත නම්මවා ගැනීමය. 2015 වසරේ ජනාධිපතිවරණයේදී අසාර්ථක වූ මෙම උපක්‍රමය ඔවුන් දැන් නැවතත් කරළියට ගෙනවිත් තිබේ. ඒ, එක් අතකින් ඔවුන් දන්නා වෙනත් දේශපාලනයක් නොමැති නිසාය. 

ඒ අනුව තමන්ගේ සමාජිකයින් සහ හිතවතුන් වන ඉහළ පොලිස් නිලධාරීන්, මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන්, භික්ෂූන්, මහාචාර්යවරුන්, මන්ත්‍රීවරුන්ගේ සිට මහේස්ත්‍රාත්වරුන් දක්වා සියළුම සම්බන්ධතා භාවිතා කරමින් දියත් කළ සාෆි ව්‍යාපෘතිය දෙමසක් තුළ කඩා වැටීම පිළිබඳ ඔවුන් දැන් පසුවන්නේ වියරුවෙනි. CIDය කෙරෙහි පොහොට්ටුවේ බද්ධ වෛරය ඇවිළී ඇත්තේ ඒ නිසාය. 

නීතිය නොදන්නා මනෝජ් 

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ජම්පරය හැඳගන්නට සලස්වන බවට තර්ජනය කළ මනෝජ් ගමගේලා අවම වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිවත් දන්නේ නැත. වෙනත් නීති අණ පනත් ගැන කතා කිරීමෙන් ඵලකුත් නැත. එසේම, නීතිය දැනගැනීම වැදගත්යැයි ඔවුන් කල්පනා කරන්නේ ද නැත. 

කළු කෝට් බෑය හැඳගෙන, කළු ටයි පොල්ල බැඳගෙන මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි සැණින් තමන්ව නීති විශාරදයින් ලෙස තම පොහොට්ටු පාක්ෂිකයින් පිළිගන්නා බව ඔවුන් දනී. ඔවුන්ට ඒ ප්‍රමාණවත්ය. මන්දයත් දේශපාලන ගේම්වලට අවශ්‍ය වන්නේ තම පාක්ෂිකයා මෝහනය කරගැනීම පමණක් බැවිනි. 

මනෝජ්ලා නීතිය නොදන්නා බව පොහොට්ටුවේ ලොක්කන් ද දනී. පොහොට්ටුවේ ලොක්කන්ගේ නඩු වෙනුවෙන් පෙනී සිටින්නට මනෝජ්ලාව කැඳවන්නේ නැත්තේ එබැවිනි. මනෝජ්ලාට භාරවී ඇත්තේ ගැලරිය පිනවීමය. 

කෙසේවෙතත් අධිකරණය ඉදිරියේ විභාගවන නඩුවකට අදාළ පාර්ශ්වයකට හෝ විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම, බලපෑම් කිරීම නීතියට අනුව වරදකි. මනෝජ්ලා නීතිය නොදන්නවා කියා එය සමාවට කරුණක් වන්නේ නැත. එබැවින් මනෝජ්ලාට එරෙහිව ඉදිරියේදී අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

ජාත්‍යන්තරය ජයගත් පියුමාල් 

එදිනම මාධ්‍ය අමතමින් තවත් පොහොට්ටු නීතීඥයකු වන පියුමාල් හේරත් පැවසුවේ සාෆි පිළිබඳ සිදුවීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හරහා විසඳාගත නොහැකි බැවින් තමන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට, මානව හිමිකම් කොමිසමට සහ යුධ අපරාධ කමිටුව හමුවට යාමට බලාපොරොත්තු වන බවයි. පියුමාල් සාධාරණත්වය වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යන්නට හදන බව කියන විට අප සිනාසිය යුතුද, හැඬිය යුතුද, සිනාසෙන්නේ නම් ඒ කුමන මුඛයෙන්ද යන්න තෝරාගැනීමට අසීරුය. 

පියුමාල් හේරත් යනු හිටපු අමාත්‍ය ජයරත්න හේරත්ගේ පුත්‍රයාය. ඔහු එංගලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන සමයේ ඔහු නවාතැන්ගෙන සිටියේ එම ප්‍රදේශයේ විසූ එක්තරා ශ්‍රී ලාංකික පවුලකගේ නිවසේය. පියුමාල් උපාධියත් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියේ තමන්ට කෑම බීම දී නවාතැන් දුන් නිවසේ හිමිකරුවන්ගේ දියණියට අඩු මානසික වර්ධනයකින් යුත් දරුවෙක්ද හදා දෙමිනි. තමන්ගේ ලෙයින් උපන් එම විශේෂ අවශ්‍යතා සහිත දරුවා ගැන අදටත් පියුමාල් කිසිදු සොයාබැලීමක්වත් කරන්නේ නැත. 

ශ්‍රී ලංකාවේ නීතියෙහි සාධාරණත්වය ගැන කතා කරන්නේ, එය ජාත්‍යන්තරය හමුවට ගෙන යාමට කතා කරන්නේ මෙවැනි පොහොට්ටු නීතීඥයින්ය. කාන්තාවටන්ට ලිංගික අතවර කිරීම, බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීම පොහොට්ටුවේ තනතුරු ලබාගැනීමේ සුදුසුකමක්දැයි සිතෙනා තරමට කරුණු පසුගිය කාලසීමාව තුළ වාර්තා වී ඇති බැවින් මීට වඩා හොඳ මිනිසුන් පොහොට්ටුවෙන් බලාපොරොත්තු විය හැකිද යන ප්‍රශ්නයත් රට හමුවේ තිබේ. 

දිවයිනේ සිංහ නාද සහ බලු කෙඳිරිය 

පොහොට්ටුවේම ප්‍රචාරක ජාලයක් වන දිවයින පුවත්පත ද ඊයේ (28) සිය කතුවැකියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවලාද රැසකින් දමාගසා තිබිණි. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ සාෆි නිදොස්කොට නිදහස් කෙරෙන දිනයක ඔවුන්ව එල්ලා මැරිය යුතු බවට කතාවකි. 

දිවයින යනු මෙම සිදුවීම වාර්තා කරන තවත් එක් මාධ්‍ය ආයතනයක් නොවේ. ඔවුන් මෙම කුමන්ත්‍රණයෙහි පාර්ශ්වකරුවෙකි. සාෆිට එරෙහිව අසත්‍ය චෝදනාව මුලින්ම සමාජගත කළේ ඔවුන් විසිනි. 

තමන්ට මෙම අසත්‍ය පුවත සම්පාදනය කිරීම සඳහා තොරතුරු ලබාදුන්නේ කුරුනෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බවත් ඊට 4000ක් වැනි විශාල සංඛ්‍යාවක් තමන් අතින් එකතු කළේ සමාජ අවධානය දිනාගැනීමට බවටත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේම පාපොච්ඡාරණය කර තිබිණි. 

තමන් වාර්තා කළ ප්‍රවෘත්තියක වගකීම භාරගනිමින් මූලාශ්‍ර හෙළි නොකර සිටීමේ හැකියාවක් ද මාධ්‍යවේදීන්ට තිබේ. එහෙත් දිවයින කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට තමන්ව කැඳවූ මොහොතේ නගුට දෙපරැන්ද අස්සේ ගසාගෙන සියල්ල වැමෑරීමය. දැන් ඔවුන් සිය පච පඩංගුව හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවලාද නඟමින් සිටී. මේ, කොන්ද පණ නැති කමේ තරමය. 

දිවයින යනු පුරුදු වෙන්නට බොරු ලියනා පත්තරයක් ද නොවේ. අඟහරු ලෝකයෙන් ගඩොල් තොගයක් සොයාගත්තේ ද ඔවුන් විසිනි. එවැනි විශ්වීය මට්ටමෙන් බොරු ලියූ දිවයිනට ලැජ්ජාව ගැන ප්‍රශ්නයක් ද නැත. ඒ, ඔවුන්ගේ ලැජ්ජා නහර ඔවුන් විසින්ම කපාගෙන ඇති බැවිනි. අනෙක් අතට පෙරකී නීතීඥයින් මෙන්ම තමන් කියන දෑ ද විශ්වාස කරන අබ්බගොබ්බ පාඨක පිරිසක් තමන් සතු බව දිවයිනත් දනී. මෙතැන දිවයිනටත් ඇති ප්‍රශ්නය තමන් ද මූලික චරිතයක් රඟපෑ දේශපාලන කුමන්ත්‍රණය අසාර්ථක වීමය. ඔවුන් පත්තර පිටු මත වසුරු තවරන්නේ ඒ වේදනාවෙනි. 

අවසාන වශයෙන් මේ සියලුම පාර්ශ්ව දැනගත යුතු කරුණ වන්නේ තමන් දැනුවත්ව කළ කුමන්ත්‍රණය හෙළි කිරීම සම්බන්ධයෙන් වියරු වැටී නඩුවක පාර්ශ්වකරුවන්ට, විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි. කයිවාරු, අච්චාරු වන ආකාරය එදිනට ප්‍රායෝගිකව දැනගැනීමේ හැකියාව කාටත් ලැබෙනු ඇත.