අපි මොකටද දෙමළ ඉගෙන ගන්නෙ? අන්‍ය ජාතිකයන්ටත් සිංහලයි උගන්නන්න ඕනෙ! - මැදගොඩ අභයතිස්ස හිමි

අපි මොකටද දෙමළ ඉගෙන ගන්නෙ? අන්‍ය ජාතිකයන්ටත් සිංහලයි උගන්නන්න ඕනෙ! - මැදගොඩ අභයතිස්ස හිමි

17 July 2019 04:10 pm

ලංකාවේ ජීවත් වන අන්‍ය ජාතිකයන්ට ද සිංහල භාෂාව ඉගැන්විය යුතු බවත්, කළ යුත්තේ සිංහලයන් දමිල ඇතුළු අන්‍ය භාෂා ඉගෙන ගැනීම නොවන බවත් අද (17) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පැවසූහ.

එහිදී ‘‘මම කෙළින්ම කියන්නද..., මේක වහල කතා කරල වැඩක් නෑ. ලංකාවෙ 70% ක් ඉන්නෙ සිංහලයො. අන්‍ය ජාතිකයන්ගෙනුත් 25%කට විතර සිංහල පුළුවන්. ඉතින් ලේසි වෙන්නෙ අර 5%ට සිංහල උගන්වන එකද නැතිනම් 70%කට දෙමළ උගන්වන එකද?“ යැයි උන් වහන්සේ පවසනු දක්නට ලැබිණි. 

තර්කානුකූල ප්‍රකාශයක් ලෙස පෙනී ගිය ද 1956 භාෂා ප්‍රශ්නය, ලංකාවේ ජාතිවාදී කෝලාහල ඇති කිරීමට දායක වූ බව පවා එහිදී උන්වහන්සේ අමතක කර ඇති බව පෙනී ගියේය. 

එසේම උන්වහන්සේ එහිදී ‘මහත් සංවේගයෙන් යුතුව‘ අවධාරණය කළ කරුණක් වූයේ ලංකාවේ රජයේ සේවකයන්ට දෙමළ භාෂා ප්‍රවීණතාවය ලබාගත් විට එය උසස්වීම් සඳහා හේතුවක් ලෙස සලකන බවයි.   

නිවේදකයා කිහිප වරක්ම මැදගොඩ අභයතිස්ස හිමියන් ‘අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වැඩම කළ‘ බව සඳහන් කළ අතර, ඒ අනුව විනාඩි 20 ක වැඩසටහන අවසන්වි වන විට මැදගොඩ අභයතිස්ස හිමි‍ තුන්වරක් මැදිරිය වෙත වැඩම කර ඇති ආකාරය ද දැකගන්නට ලැබිණි!