ගෝඨාගේ පණිවිඩය ගැන මොකද කියන්නේ ? - ගෝඨාගෙන් සාෆිට පණිවිඩයක් !

ගෝඨාගේ පණිවිඩය ගැන මොකද කියන්නේ ? - ගෝඨාගෙන් සාෆිට පණිවිඩයක් !

13 July 2019 06:29 am

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි සම්බන්ධ සිදුවීම් මාලාවම "පැලෝපීය නාලයේ පොහොට්ටුවක් සිරවීමෙන්" ඇතිවූ එකක් බව ලංකා නිව්ස් වෙබ් අපි මුල පටන්ම ස්ථිරවම ප්‍රකාශ කළෙමු. එය නැවත නැවතත් පොහොට්ටුව විසින්ම ඔප්පු කරමින් තිබේ. 

සාෆි හමුවීමට පොහොට්ටුවේ නීතීඥයින් දෙදෙනෙක්

වෛද්‍ය සාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී විශේෂ අවසරයක් මත ඔහුව මුණගැසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥයින් දෙදෙනෙක් පසුගියදා පැමිණ තිබිණි. ඔවුන් තමන්ව වෛද්‍ය සාෆිට හඳුන්වා දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ පණිවිඩකරුවන් ලෙසය. 

කැමතිද අපේ පැත්තෙන් ඉල්ලන්න ? 

"ඔයාට විරුද්ධව කිසිම චෝදනාවක් ඔප්පු වෙන්නෙ නෑ. කොහොමත් කිසි දෙයක් නෑ, මේක බොරුවක්නෙ. කැමතිද අපේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලන්න ?

මොකද කුරුණෑගල මුස්ලිම් ජනතාවගේ බ්ලොක් වෝට් එක ඔයාට තියෙනවා. අපි කැමතියි සුදුස්සාට සුදුසු තැන දෙන්න. 

අපේ බොස් මුල ඉඳන්ම දන්නවා මේක දිවයින පත්තරෙයි, රතන හාමුදුරුවොයි නටම නාඩගමක් කියලා. 

ඔයා එන්න කැමති නම් අපි සේරම බැලන්ස් කරන්නම්. එළියෙ ප්‍රශ්න තියෙනවා කියලා ඔයාත් දන්නවානෙ ? අපි ඒ ඔක්කොම විසඳලා දෙන්නම්. අපිට ඔයාගෙ කැමැත්ත විතරයි ඕනේ" යනුවෙන් ඔවුන් සාෆිට සිය පණිවිඩය ඉදිරිපත් කර ඇත. 

සියල්ල අසාගෙන සිට මඳ සිනහවක් පෑ සාෆි වෛද්‍යවරයා "ස්තූතියි ඔෆර් එකට. ඔයාලා දන්නවානෙ, මං අදත් යූඑන්පී, හෙටත් යූඑන්පී. ඒක වෙනස් කරන්නෙ නෑ, මං ප්‍රශ්න කොහොම හරි විසඳා ගන්නම්" යනුවෙන් පිළිතුරු දී තිබේ. 

ලංකාවේ හැටි - මතකද ජොනී ?

ශ්‍රී ලංකාවේ දේශපාලනය කියන්නේ මෙවැනි එකකි. යම් හේතුවක් මත සාෆි පැත්ත මාරු කළේ නම් අද සාෆිට එරෙහිව රටේ නැති චෝදනා තොග පිටින් දමා ගසන උදවියම සාෆිගේ ගුණ වයනු ඇති අතර සාෆි සමඟ එක වේදිකාවේ රැස්වීම් පැවැත්වීමට පොරකනු ඇත. 

නඩුවට බය ගෝඨා 

අනෙක් අතට මින් පෙන්නුම් කෙරෙන්නේ හෘද සැත්කම කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා උසාවියට කොකා පෙන්වමින් සිංගප්පූරුවට වී විවේක සුවයෙන් ලංකාවේ දේශපාලනයෙහි නූල් අදිමින් රූකඩ නටවමින් සිටින බවය. 

ගෝඨාභය සිංහයකු සේ පින්තාරු වන්නට ආශා වුවත් ඔහුව එසේ පින්තාරු කරන්නට වන්දිභට්ටයින් පෝළිමට සැරසුණත් ඔහු බය නැති පුද්ගලයකු ද නොවේ. විශේෂයෙන් ඔහු නඩුවලට බයය. 2015 වසරේ පටන්ම ඔහු කළේ තමන්ට එල්ල වන චෝදනා ඉදිරියේ ආණ්ඩුවත් සමඟ ඩීල් දැමීම සහ ඉහළ අධිකරණවලට දුවමින් පෙත්සම් ගොනු කිරීමය. 

රටේ සිටින මිල අධිකම නීතීඥයින් මාර්ගයෙන් ඔහු තමන්ව අත් අඩංගුවට නොගන්නැයි පෙත්සම් ගොනු කළේය. තමන්ට එරෙහි චෝදනා වෙනස් කරන්නැයි පෙත්සම් ගොනු කළේය. තමන්ට එරෙහි නඩු විභාග නොකරන්නැයි පෙත්සම් ගොනු කළේය. තමන්ට එරෙහිව නඩු අසන අධිකරණයට එරෙහිව පෙත්සම් ගොනු කළේය. 

පුදුමාකාර ලෙසින් ඔහුගේ පෙත්සම් විභාග කරන විනිසුරුවරුන් ද පෝලිමට ඉල්ලා අස්වුණේය.

අවසානයේ පෙත්සම් සියල්ල ටන අතරේ සිය දෙමව්පියන්ගේ සොහොන් කොත් සෑදීමට රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයෙහි ඇති නඩුව විභාගයට ගැනෙන විට හදිසි හෘද සැත්කමක් පෙන්නා විදෙස්ගත වුණේය. සැත්කමෙන් මාස දෙක හමාරක් ඉක්ම යද්දීත් සිංගප්පූරුවටම වී සැඟවුණේය. ඔහු කිසිවිටෙක තමන් නිවැරදිකරු බව කියමින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වන්නට ගියේ නැත. තමන් නිවැරදිකරු බවත් තමන්ගේ ගනුදෙනු ඉතිහාසයේ විනිවිදම ගනුදෙනු බවත් ඔහු කීවේ මාධ්‍යයට පමණි. මේ වීරයාගේ ඇත්ත ස්වරූපයය. 

ගෝඨාගේ කැමැත්ත

අනෙක් අතට මෙය සිදු නොවුණු දෙයකැයි කියන්නට හදිසි වී දඟළන්නට නියමිත ගෝටාගේ සාක්ෂිකරුවන්ට එකක් මතක් කරන්නට කැමතිය. ඒ, අද ගෝඨා වෙනුවෙන් මැරෙන්නට දඟළන ඔය දේශපාලනඥයින් කිසිවෙකුත් එදා ගෝඨාගේ ප්‍රියතමයන් නොවූ බවය. ජ්‍යේෂ්ඨයින්, අධිරාජ්‍ය විරෝධීන්, දේශප්‍රේමීන්, උගත් ආචාර්යවරුන් යනාදී විවිධ ස්වරූප වශයෙන් පෙනී සිටි එදා ආණ්ඩුවේ 150කට අධික මන්ත්‍රීවරුන් අතරින් ගෝඨාගේ ප්‍රියතමයා වූයේ දුමින්ද සිල්වාය. රහස මුදල්ය. 

සල්ලි ඇති තරුණයින්ට ගෝඨා ඉතාමත්ම කැමතිය. 

ගෝඨාගේ මුස්ලිම් විරෝධයත් මේ ආකාරයටමය. ගෝඨා විරුද්ධ සල්ලි නැති මුස්ලිම් මිනිස්සුන්ට පමණි. සල්ලි ඇති මුස්ලිම් මිනිසුන්ට ගෝඨා පුදුමාකාර ලෙස ආදරේය. ඔහු නාගරික සංවර්ධන අධිකාරිය භාරව සිටියදී කොළඹ ඉතාම වටිනා ඉඩම් බෙදා දුන්, දෙන්නට සැලසුම් කළ ලේඛන පරීක්ෂා කළහොත් ගෝඨාගේ මුස්ලිම් විරෝධයේ තරම පෙනෙනු ඇත. 

කෙසේවෙතත් අවසානයේ කීමට ඇත්තේ සාෆිගේ සිදුවීම හරහා ශ්‍රී ලංකා දේශපාලනයේ ගඳගසන ස්වරූපය මෙන්ම පොහොට්ටුවේ කූට දේශපාලන මෙහෙයුම්, නින්දිත දේශපාලන සැලසුම් සහ පොහොට්ටුවේ මාධ්‍ය, පොලිස්, මහාචාර්ය, වෛද්‍ය, භික්ෂු, විනිසුරු කුමන්ත්‍රණකරුවන් රෑන ද එක මිටට හෙළිදරව් වී ඇති බවය.