සාෆිගේ නඩුව : කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ලැදියාවන් අතර ගැටුමක !

සාෆිගේ නඩුව : කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ලැදියාවන් අතර ගැටුමක !

12 July 2019 02:50 pm

වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතාට එරෙහි නඩුව විභාග කරනා කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතාගේ බිරිඳ ද කුරුණෑගල රෝහලේම වෛද්‍යවරියක් බව වාර්තා වේ. 

මෙය ඉතාම පැහැදිලිව ලැදියාවන් අතර ගැටුමක් මෙන්ම ස්වභාවික යුක්තියෙහි රීතිය උල්ලංඝනය කිරීමක් ද වේ. 

ස්වභාවික යුක්තියේ රීතියෙහි මූලික කුළුණු දෙක වන්නේ "දෙපාර්ශ්වයටම කන් දෙනු" සහ "තමන්ගේ නඩුව තමන් නොඅසනු" යන්නයි. මෙම ආන්දෝලනාත්මක නඩුවට පාදක වූ සිදුවීම් මාලාව සිදුවූ සහ තවමත් සිදුවෙමින් පවතින කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි සිය බිරිඳ සේවය කරනා විට එම මහේස්ත්‍රාත්වරයා එම නඩුව විභාග කිරීමෙන් ඉවත් වීමට සදාචාර සම්පන්න විය යුතුය. 

එසේම මෙම නඩු විභාගයෙහි පළමු දිනය තුළ මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීමෙහි ප්‍රශ්නකාරී තැන් ද තිබිණි. 

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට කරුණු දැක්වීමට ඉඩ දුන්නේ කොහොමද ?

විශේෂයෙන්ම තම බිරිඳ ද සේවය කරන කුරුණෑගල රෝහලෙහි අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතාට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට එදින මහේස්ත්‍රාත්වරයා ඉඩ ලබාදී තිබිණි. සරත් වීර බණ්ඩාර යනු මෙම නඩුවේ පාර්ශ්වකරුවකු ද නොවේ. ඔහු පැමිණිලිකරුවකු ද නොවේ. අනෙක් අතින් ඔහු මෙම නඩුවට සම්බන්ධ විෂයය වන ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ විශේෂඥවරයකු ද නොවේ. වෙනෙකක් තබා ඔහු දන්ත වෛද්‍යවරයකු පමණි. එවැන්නෙකුට මෙවැනි නඩු විභාගයකදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ඉඩ දුන්නේ කවර පදනමකින් ද යන්නම ප්‍රශ්නයකි. 

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නඩුවෙහි අධිකරණ කාර්ය සටහන් ( Journal entries) ලබාගෙන ඇති අතර සරත් වීර බණ්ඩාර මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ බවට කිසිදු සඳහන් එහි තිබී නැත ! එය ඊටත් එහා ගිය ප්‍රශ්නයකි.