මහ බැංකුවේ ‘අනේ අපි ඕවට නෑ‘ සහ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ දෝංකාරය

මහ බැංකුවේ ‘අනේ අපි ඕවට නෑ‘ සහ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ දෝංකාරය

11 July 2019 11:53 pm

අද දින (11) සෙත්සිරිපායේදී ජාතික කාන්තා කමිටුව විසින් ‘ක්ෂුද්‍ර මූල්‍ය ගැටළු නිසා කාන්තාවන්ට ඇති වන බලපෑම්‘ යන මැයෙන් වැඩසටහනක් පැවැත්විණි. ඒ සම්බන්ධයෙන් සංසරණය වූ ආරාධනා ලිපියෙහි සඳහන් වූයේ ‘ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගැනීම තුළ කාන්තාවන් මුහුණ දෙන ගැටළු විශ්ලේෂණාත්මක ලෙස සාකච්ඡා කිරීම‘  සහ ‘මේ තත්වයට ප්‍රතිචාර වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළියෙළ කිරීම‘ යි. 

ශාලාව පිරී තිබූ මේ සාකච්ඡාවේදී බොහෝ දෙනෙකු පුදුම වූ කාරණයක් වූයේ මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් සහභාගි වී සිටි නිලධාරියෙකුගේ අරුම පුදුම ආකල්ප රටාවයි. එයින් සමහරක් මෙසේ ය. 

‘‘මටත් ක්‍රෙඩිට් කාඩ් කොම්පැනිවලින් සෑහෙන්න කෝල්ස් එනවා. මම නෙවෙයි එකක්වත් ගන්නෙ..“

තමන් උපයන වැටුපෙන් පමණක් ජීවත් වීමේ වැදගත්කම ගැනත්, ණය වීමේ ආදිනව ගැනත් මෙසේ උදාන වාක්‍යයක් පැවසූ මහ බැංකු නිලධාරියා වූයේ බැංකු නොවන මූල්‍ය සමාගම් නියාමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී රණවීර මහතා ය. ඔහුට අනුව ඔහු තමන්ගේ වැටුපෙන් ජීවත් වීමට සමත් අයෙක් වන අතර, ක්‍රෙඩිට් කාඩ් සමාගම්වලින් ඔහුට නිතර දුරකථන ඇමතුම් ලැබේ. නමුත් ඔහු ඒවා කනකටවත් ගන්නේ නැත. ඔහු එයින් අදහස් කරන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් කාන්තාවන් සොය සොයා යමින් ඔවුන් ව ණය උගුලට හසු කරන විට ඔවුන් නෑසූ කනින් සිටිය යුතු බවද? මෙහිදී ඔහු කල්පනා කරන්නේ ජීවිත සිය ගණනකට වඩා දැනට බිලිගෙන ඇති, මෙම වැඩසටහනේදීම හෙළි වූ පරිදි මතුගම ප්‍රදේශයෙන් ද මෑතකදී සිය දිවි නසාගැනීම් 2 ක් වාර්තා කළ ක්ෂුද්‍ර මූල්‍ය උගුලට කාන්තාවන් හසු වී සිටින්නේ ඔවුන්ගේ වරදින් ය. ඒ නිසා කරන්නට දෙයක් නැත. ණය ගන්නට කලින් සිතන්නට තිබුණේය. ඔහුට මෙහිදී තමන් අද පැමිණියේ කුමනාකාරයේ පිරිසක් අමතන්නටදැයි අමතක වුණේය. නැතිනම් ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ හසුවූ වින්දිතයන් ගැන සිතන්නට කොහෙත්ම පුරුද්දක් නැති නිසා ඔහුගේ පුරුද්ද ඉස්මතු වුණේය. ශාලාවේ සිටි අයගෙන් මේ කතාවට විරෝධය මතු වන විටදීවත් ඔහුට තමන්ගේ මුල් මතක් වීදැයි අපි නොදන්නෙමු. වින්දිත ප්‍රජාව වෙනුවෙන් කළ හැකි දේ කුමක්දැයි සොයා බලන්නට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැමිණ සිටියේ එවැනි මහජන නිලධාරියෙකි! 

මෙම අවස්ථාවට සහභාගි වී සිටි බහුවිධ ණය සමාගම්වල ගොදුරක් බවට පත්වූ කාන්තාවන්ට මේ නිලදරුවාගේ කතාවෙන් කුමන ආකාරයේ අසරණ කමක් දැනුණාදැයි අපි නොදනිමු. අප දන්නා තරමින් සිය දිවි නසාගැනීමට උත්සාහ කළ කාන්තාවක් ද මෙම වැඩසටහනට පැමිණ සිටියාය. ඇය වැළපෙමින් තමන් ගත් ණය පිළිබඳ විස්තර කරද්දී මහබැංකු නිලධාරියා සිටියේ ‘‘ඔහෙලගෙ කරුමවලට අපි මක් කරන්නද“ වැනි හිස් බැල්මකිනි. මේ උවදුර සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන්ගේ සංවේදී භාවය එබඳු ය. 

‘‘අපි නියාමනය කරන්නෙ තැන්පතු ගන්න සමාගම් විතරයි“

එය අලුත් කතාවක් නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට විධිමත් නීති රාමුවක් නැති බව සියල්ලෝම දනිති. ඔවුන්ට කළ හැක්කේ තැන්පතු ලබාගෙන ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ යෙදෙන, මහබැංකුවේ ද ලියාපදිංචි සමාගම් ‘හොඳින් හැසිරෙන්නේදැයි‘ බැලීම පමණි. ඒ ‘බැලීම‘ කොතරම් හොඳට සිදුවන්නේ ද යත්, තැන්පතු ලබාගෙන ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ යෙදෙන සමාගම් පවා කාන්තාවන් විවිධාකාරයේ අඩන්තේට්ටම් වලට හසු කරන විට ඒ සොච්චමක් වූ ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පවා ඔවුන් කිසිවක්ම කරන්නේ නැත. ලොකු මෝරුන් සියල්ලන්ම මේ වන විට ග්‍රාමීය කාන්තාවන්ගේ දුප්පත්කම දෙගුණ තෙගුණ කරන්නට දායක වී සිටින බව ඔවුන්ට පෙනෙන්නේ නැත. ඒ නිසා තැන්පතු ලබානොගන්නා හෝ ලියාපදිංචියක් නොමැති සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ නියාමනය ගැන කතා කරන්නටම දෙයක් නැත. 

නමුත් මෙහිදී කැපී පෙනෙන ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ දත් නැති බල්ලෙකු මෙන් කුසීත කමින් කල් ගෙවන්නේ නැතිව, වඩා පුළුල් නියාමන රාමුවක් සඳහා සිය බලතල වැඩි කර නොගන්නේ මන්ද යන්නයි. එවිට ඔවුන්ට වැඩ වැඩිවනු ඇති අතර, සමාගම්වල පාර්ශවයෙන් මිස මිනිසුන්ගේ පාර්ශවයෙන් මේ ගැන මානුෂික ලෙස සිතන්නට පුළුවන් කමක් හෝ පුරුද්දක් ඔවුන් තුළ නොමැති නිසාම, ඔවුන් එයට කොහෙත්ම කැමැත්තක් නොදක්වනු ඇත. 

‘‘ණය ගනිද්දි මහත්තුරුන්ටත් දැනුම් දෙන එක හොඳයි!“

මේ වැඩසටහනේදී ඉදිරිපත් වූ කාරණයක් වූයේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මේ වන විට කාන්තාවන්ට ණයක් ලබාදෙන විට සැමියාගේ සහ පවුලේ ලොකු පුතාගේ ජංගම දුරකථන අංක ඉල්ලාගෙන ගොස් ඔවුන්ට ද කාන්තාව ණයක් ලබාගන්නට යන බවට දැනුවත් කරන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ නිලධාරියා කියා සිටියේ, ‘‘එක අතකින් එහෙම කරන එක හොඳයි. එතකොට ගෙවන්න බැරි නම් ගන්න එපා කියල කියන්න පුළුවන්නෙ!“ යනුවෙනි. කාන්තා කටයුතු කාර්යාංශය විසින්  සංවිධානය කළ වැඩසටහනකදී, කාන්තාව පුරුෂාධිපත්‍යයට එරෙහිව සවිබල ගැන්වීම ගැන මහ ඉහළින් කතා කරන අමාත්‍යාංශයක වැඩසටහනකදී මේ පළ වූයේ ‘කාන්තාවක් ණයක් ගන්නවා නම් ඊට සැමියාගේ කැමැත්ත තිබිය යුතුයි‘ යන ආචීර්ණකල්පිත මතයයි. මෙවැනි කථිකයන් වැඩසටහන්වලට ගෙන්වන විට කාන්තා කාර්යාංශය මීට වඩා සැලකිලිමත් විය යුතු බව අපගේ මතයයි. 

‘‘ලාබ ලැබෙන්නැතිනම් ක්ෂුද්‍ර මූල්‍ය මොකටද?“

මෙය වනාහී ජනතා මුදලින් වැටුප් ලබන මහබැංකු නිලධාරියෙකුට සිය දිවි නසාගැනීම් 179 ක් වාර්තා වී ඇති ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් සිදු කළ හැකි සාහසිකම ප්‍රකාශයයි. අන් සියල්ලටම පෙර මෙවැනි නිලධාරීන් ක්ෂුද්‍ර මූල්‍ය යනු මොනවාදැයි ඉගෙන ගත යුතුය. බංග්ලාදේශයෙන් ලෝකයේ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය බිහි වන්නේම, ලාභය පසුපස නොදුවන, දුප්පත් කම තුරන් කිරීම සඳහා ප්‍රජාව වෙත ලබාදෙන ස්වයංරැකියා මොඩලයක් ලෙස ය. එහිදී කුසලතා සංවර්ධනය, වෙළඳ පොළක් සකස් කර දීම යනාදී මෙකී නොකී කාරණා ගණනාවකට පසුව ප්‍රජාව  වෙත මුදල් සම්පාදනය කිරීම සිදු කරයි. මේ සංකල්පයේ හදවත වන්නේ ප්‍රජාව අතරින් දිළිඳු කම තුරන් කිරීම මිස උන්ගෙන් ලාභ ඉපැයීම නොවේ. නමුත් අද දින නැවත වරක් ප්‍රත්‍යක්ෂ වූ ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් නියාමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සිතන්නේ ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය පැවතිය යුත්තේ ලාභ ඉපැයීම සඳහා බවයි. ඔවුන්ට 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත නැවත වරක් කියවා බලන ලෙස අපි ආරාධනා කරමු. ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ ප්‍රමුඛ සහ පළමු කාරණය වන්නේ ‘සමාජ වගකීම‘ (Social Responsability) බව මතක් කර සිටිමු. 

‘‘ඕවර්හෙඩ්ස් වැඩියි. ඒ නිසා පොලිය වැඩියි තමයි!“  

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 35%ක උපරිම පොලී අනුපාතිකයක් පනවමින් 2019 අප්‍රේල් මාසයේ පටන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වාර්ෂික පොලිය 20% සිට 220% දක්වා අගයක් ගන්නා තත්වයක් තුළ මෙය හොඳ පියවරකි. නමුත් අප දන්නා තරමින් බංග්ලාදේශයේ යූනුස් මුල් අවධියේ දිළින්දන් ට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදුන්නේ 10%-15% අතර පොලී අනුපාතිකයකට ය. යාචකයන්ව සවිබල ගැන්වීමට අවශ්‍ය වු විට බංග්ලාදේශය 0% පොලියට ක්ෂුද්‍ර මූල්‍ය ලබාදුන්නේය. ශිෂ්‍යයන් සම්බන්ධයෙන් එය 10%ක් විය. 

මහබැංකු නිලධාරියා දිගින් දිගටම සමාගම් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රත්‍යක්ෂ කරමින් ඔහු මෙහිදී මෙසේ කීවේය. ‘‘ලොකු සමාගම්වලින් ක්ෂුද්‍ර මූල්‍ය ලබාදෙනකොට වියදම් වැඩියි. ඕවර්හෙඩ්ස් වැඩියි. ඔෆිස් දාන්න ඕනෙ.. බයිසිකල් දෙන්න ඕනෙ. බයිසිකල්වලට තෙල් ගහන්න ඕනෙ.. ඒ නිසා 35%ක්වත් නැතිව අමාරුයි“

මෙම පොලී අනුපාතිකය පැනවීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡා ඇති වන විට සමාගම්වලින් පැමිණි මතය වූයේ ද මෙයමයි. කුමක්ද මෙහි රහස..?

‘‘ඉතින් හොඳයිනෙ.. සමාගම් දියුණු වෙලානෙ!“

LOLC සමාගම නියෝජනය කරමින්  පැමිණ සිටි නිලධාරියෙක් පැවසුවේ මේ වන විට ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය එකතු කරන නිලධාරීන්, ලක්ෂ 5 ක් වැනි මුදලක් කාන්තාවන්ගෙන් එක් රැස් කර ගත් පසු සමාගමට ද විටෙක වංචා කර තමන්ගේ සමාගමක් ලියාපදිංචි කර ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්ත ආරම්භ කර ඇති බවයි. එවැනි ඇතැම් සමාගමක් මේ වන විට මිලියන ගණනක වත්කම් සහිතව පවත්වාගෙන යන බව ද ඔහු හෙළි කළේය. එවිට මහබැංකු නිලධාරියා මහත් උනන්දුවෙන් පැවසුවේ ‘‘ඒ කියන්නෙ ඒක දියුණු වෙලා!“ කියා ය. එය ඔහු පැවසුවා නොව, ඇත්තෙන්ම ඔහුට පැවසුණේය. ඔන්න, ඔහුගේ ඇත්ත ස්වරූපය! කාන්තාවන් කුමන ආකාරයක අවසානාවන්ත ඉරණමකට මුහුණ දී වුවත්, කර්මාන්තය ලාභ ලබන තත්වයට පත් වන්නේ නම් ඔවුන්ට කම් නැත. 

‘‘ක්ෂුද්‍ර මූල්‍ය පනත වැඩ කළේ නෑ. ඒ නිසා අලුත් එකක් ගේනවා“

2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියාපදිංචි වී තිබෙන්නේ සමාගම් 3 ක් පමණක් බවත් එය ‘වැඩ නොකළ බවත්‘ එනිසා අලුත් පනතක් ගෙන ඒම වෙත (මෙය ණය නියාමන අධිකාරී පනත නම් වේ) ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් එම නිලධාරියා පැවසුවේය. මුදල් අමාත්‍යාංශය මෙයට මූලිකත්වය ගෙන ඇතත්, කෙටුම්පත් කරණය සඳහා අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදෙන්නේ මහබැංකුව විසින් බව ද එහිදී හෙළි වුණේය. මෙම ක්ෂුද්‍ර මූල්‍ය පනත, අදාළ සියලු පාර්ශවයන් සමග මහජන උපදේශනයන් සැලකිය යුතු කාලයක් පැවැත්වීමෙන් අනතුරුව, එවකට පැවති අද ද පවතින සියලු ආකාරවල අඩන්තේට්ටම්, අධික පොලී අනුපාතික අයකිරීම් යනාදී දුරාචාරයන්ට එරෙහිව ගෙන ආ පනතකි. නමුත් එය කිසිදු විටෙක අනිවාර්ය නීතියක් බවට පත්කරන්නට බලධාරීන්ට අවංක උවමනාවක් තිබුණේ නැත. තවද මෙම පනත යටතේ ලියාපදිංචි කළ හැකිව තිබුණේ රුපියල් මිලියන 150 ට වැඩි ප්‍රාග්ධනයක් සහිත සහ අවුරුදු 3 කට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් සහිත සමාගම් හා, මිලියන 2-5 ත් අතර ප්‍රාග්ධනයක් හිමි, වසර 3 ක සක්‍රිය ක්‍රියාකාරිත්වයක් හිමි රාජ්‍ය නොවන සංවිධාන පමණි. මේ බාධක ඉවත් කර පනත අනිවාර්ය නීතියක් බවට පත්නොකර, පනතට අවශ්‍ය සංශෝධන සිදු නොකර කඩි මුඩියේ ගෙන එන්නට තැත් කරන ණය නියාමන අධිකාරී පනත ගැන මහබැංකුව උද්දාමයෙන් පසුවන බව පෙනේ. 

ඔවුන් නිසැක වශයෙන්ම මෙය කෙටුම්පත් කරනු ඇත්තේ මිනිසුන්ගේ දෘෂ්ටිකෝණයෙන් නොව සමාගම්වල දෘෂ්ටිකෝණයෙනි. එසේම මෙම පනත සඳහා කෙටුම්පත්කරණ දායකත්වය ලබාදීමට අමතරව ශ්‍රී ලංකා මහබැංකුවට මේ අනුව අලුත් වැඩක් ද පැවරීමට නියමිත ය. එනම් යෝජිත පනත ප්‍රකාරව ස්ථාපනය කිරීමට නියමිත ‘ණය නියාමන අධිකාරියේ‘ සංයුතියයි. සාමාජිකයන් 7 දෙනෙක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර, එයින් දෙදෙනෙක් පත්කරන්නේ ශ්‍රී ලංකා මහබැංකුවෙන්, මහබැංකු අධිපතිවරයා විසිනි.

මහබැංකුවෙ අය එවල වැඩක් නෑ!

ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නය ගැන මේ ප්‍රකාශය එක්තරා අවස්ථාවක මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින්ම සිදුකර තිබීම දෛවෝපගත ය. අපගේ ආරංචි මාර්ගවලට අනුව මෙහිදී සිදුව තිබනේනේ නුදුරේදී අගනුවර පැවැත්වීමට නියමිත ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ අර්බුදය සාකච්ඡා කෙරෙන දෙදින සමුළුවකට ප්‍රධාන ආරාධිතයා ලෙස තමන්ට පැමිණිය නොහැකි බව දැනුම් දෙමිනි. ‘‘මට එන්න බැරි නම් මහබැංකුවෙන් එවන්න කෙනෙකුත් නෑ. බියුරොක්‍රටික්ස්ලා තමයි එවන්න වෙන්නෙ“ යැයි ඔහු එහිදී ඉතා නිහතමානී ලෙස පවසා තිබේ. 

පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමාට මේ ගැටළුව ගැන තිබෙන සංවේදී භාවය ඔහුගේ පහළ නිලධාරීන්ට නොමැති බව ඔහු පවා දන්නා බවයි. අඳෝමැයි!

එනිසා ශ්‍රී ලංකා මහ බැංකුව ‘අනේ අපි ඕවට නෑ!‘ යැයි කියන විට  අපට කෙටියෙන් කියන්නට තිබෙන්නේ, ‘තමුන්නාන්සෙල හරියට හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ!“ කියලා ය. 

- විශේෂ වාර්තාකරුවෙකු විසිනි.