ඇමති ස්වාමිනාදන්ගෙන් මයුරපති කෝවිලට මිලියන 20ක පොල්ලක්

ඇමති ස්වාමිනාදන්ගෙන් මයුරපති කෝවිලට මිලියන 20ක පොල්ලක්

1 July 2019 02:13 pm

නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ භාරකාරත්වයෙන් රු.මිලියන 20ක් ණය පදනමින් ලබා ගෙන ඇති අතර එය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා එම කෝවිල් භාරකාරත්වය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

2014 වසරේ ඔක්තෝම්බර් 10 වැනි දින එම ණය මුදල ලබා ගෙන ඇත්තේ ස්වාමිනාදන් මහතාට අයත් කොළඹ ශ්‍රී පොන්නම්බලම් වානේසර් කෝවිලේ උත්සව ශාලාව ඉදිකිරීම සඳහාය. 

මාස 10ක වැනි කාලයක් තුළ එම ණය මුදල පියවන බවට මයුරපති භාරකාරත්වයට ස්වාමිනාදන් මහතා පොරොන්දු වී ඇතත් ඔහු එය දිගින් දිගටම මඟහරිමින් සිට තිබේ. 

මේ අතර පසුගිය මාර්තු 20 වැනි දින මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ භාරකාරත්වයේ සභාපති පී.සුන්දරලිංගම් මහතා ස්වාමිනාදන් මහතාට ලිපියක් යොමුකරමින් අවධාරණය කරන්නේ මාර්තු 31 වැනි දිනය වන විට එම ණය මුදල ගෙවා ගනුදෙණුව අවසන් කරන ලෙසයි. 

එහෙත් එය නොසලකා හැරීමට ස්වාමිනාදන් මහතාගේ පාර්ශවය කටයුතු කර තිබේ. 

යළි අප්‍රේල් 10 වැනි දිනද මයුරපති කෝවිලෙන් ස්වාමිනාදන්  මහතාට සිහි කැඳවීමේ ලිපියක් යොමුකර තිබේ. 

ඒ අනුව පසුගිය මැයි මස 10 වැනි දින ස්වාමිනාදන් මහතාගේ නීතිඥවරයා වන කපිල මානවසිංහ සරත්චන්ද්‍ර මහතා මයුරපති කෝවිලේ භාරකාරත්වයේ සභාපති සුන්දරලිංගම් මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන බවයි. 

එම මුදල් ගෙවීම සම්බන්ධයෙන් යොමුකර ඇති ලිපි දෙකම බැහැර කරන ලෙස සිය සේවාදායකයාගෙන් උපදෙස් ලැබුණු බවද නීතිඥවරයා සඳහන් කර තිබේ. 

එමෙන්ම සිය සේවාදායකයට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළහොත් මයුරපති කෝවිලේ භාරකාරත්වයට එරෙහිව නඩු පවරන බවද එම ලිපියෙන් දන්වා ඇත. 

මයුරපති කෝවිලෙන් ස්වාමිනාදන් මහතාට ලබා දී ඇති  චෙක් පත් පවා තිබියදී දැන් ඔහු එම ණය මුදල් ගැනීම ප්‍රතික්ෂේප කරමින් හිඳියි. 

කෙසේවෙතත් මයුරපති කෝවිලේ භාරකාරත්වය විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබීම නිසා  ස්වාමිනාදන්  මහතා යම් කලබලයකට පත්ව සිටින බවද වාර්තා වෙයි. 

මෙම කෝවිලේ ප්‍රශ්නයේදී පමණක් නොව ඉන්දියානු ආධාර යටතේ උතුරේ නිවාස 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේද ස්වාමිනාදන් මහතාට එරෙහිව  චෝදනා එල්ල වී තිබේ.