පැලෝපීය මහාචාර්ය චන්න ජයසුමන ළඟ නීතියත් නැවෙනවාද ?

පැලෝපීය මහාචාර්ය චන්න ජයසුමන ළඟ නීතියත් නැවෙනවාද ?

29 June 2019 10:38 am

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ කර ඇතැයි යන සාවද්‍ය පුවත පතුරුවා හැරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය චන්න ජයසුමන ද සිටියේය. 

සමාජ මාධ්‍ය ජාල තුළ භීතිය - සැකය වැපිරීම 

දිවයින පුවත්පත විසින් නමක් හෝ රෝහලක් සඳහන් නොකර පළ කළ පළමු පුවතෙන් දැක්වෙන වෛද්‍යවරයා යනු සහාබ්දීන් සාෆි බව හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරණය ආරම්භ කළේ මහාචාර්ය චන්න ජයසුමන විසිනි. සිසේරියන් සැත්කම් අතරතුර මවුවරුන් වඳභාවයට පත් කිරීම ඉතාමත් පහසුවෙන් කළ හැකි දෙයක් බවත් ඒ සඳහා කළ යුතු වන්නේ පැලෝපීය නාලය අඬු දෙකකින් හෝ ඇඟිලි දෙකින් මිරිකාගෙන සිටීම පමණක් බවත් පවසමින් සිය වෛද්‍ය පීඨ මහාචාර්ය තනතුර භාවිතා කරමින් සමාජගත කළේ ද ඔහු විසිනි. 

ඉන් අනතුරුව මෙය මුස්ලිම් වෛද්‍යවරුන් විසින් සිංහල ජාතිය වඳකිරීම උදෙසා ගෙනගිය සංවිධානාත්මක ව්‍යාපාරයක් බව ඔහු නොයෙක් විට ප්‍රකාශ කළ අතර ඒ හරහා ජාතීන් අතර කෝලාහළයක් ඇතිකර සිය දේශපාලන පක්ෂයටත් පෞද්ගලිකව තම දේශපාලන ගමනටත් වාසි අත්කර ගැනීමේ අරමුණින් ඔහු ප්‍රකාශ ගණනාවක් මාධ්‍ය හරහා ද සමාජ මාධ්‍ය ජාල හරහා ද ප්‍රචාරණය කළේය. 

කුරුණෑගල භීතිකාව තවත් දිස්ත්‍රික්ක 9කට ව්‍යාප්ත කිරීමේ සැලැස්මක් 

පසුගිය ජුනි 19 වනදා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ පැවති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ "ජාතික සමඟි බලවේගය" යන සංවිධානය විසින් සංවිධානය කළ රැස්වීමක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ වෛද්‍ය සාෆිට අමතරව තවත් රෝහල් 9ක වෛද්‍යවරුන් 13 දෙනෙකු විසින් සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස සිංහල මවුවරුන් වඳ භාවයට පත් කිරීමේ වඳ සැත්කම් සිදුකර ඇති බවයි. 

කෙසේවෙතත් 27 වනදා විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ වෛද්‍ය සාෆිට එරෙහිව චෝදනා සනාථ කිරීමට සාක්ෂි කිසිවක් විමර්ශනවලදී හමු නොවූ බවත් එම චෝදනා අසත්‍ය බවත්ය. 

මහාචාර්ය චන්න ජයසුමන ද මූලිකත්වය ගෙන වෛද්‍ය සාෆිට එරෙහිව ගෙන ගිය ප්‍රචාරණ ව්‍යාපාරය නිසා ඔහුට දැනට මසකට අධික කාලයක් සිරගතව සිටින්නට සිදුව ඇති අතර ඔහුගේ දියණියන් දෙදෙනාට පාසල් යාමට හෝ නොහැකි තත්වයක් උද්ගතව තිබේ. වෛද්‍ය සාෆි මරාදැමිය යුතු බවට බැනර් කුරුණෑගල නගරයේ ප්‍රදර්ශනය කෙරුණු අතර මහනායක හිමියන් පවා ඔහුට ගල්ගැසිය යුතු බව කියනා තැනට ගෙනගියේ චන්න ජයසුමනලාගේ ප්‍රචාරණ ව්‍යාපාරය විසිනි. 

හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේදී 19 වනදා කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මහාචාර්ය චන්න ජයසුමන මෙම ඉරණමම තවත් වෛද්‍යවරුන් 13 දෙනෙකුට අත්කර දීමට සැලසුම් කරගෙන සිටි බවයි. 

එසේම වෛද්‍ය සාෆිගේ සිදුවීම නිසා කුරුණෑගල ප්‍රදේශය මෙතෙක්ම පැවතියේ ඕනෑම මොහොතක ජාතිවාදී ප්‍රහාරයක් ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්වයකිනි. 

මහාචාර්යවරයාගේ 19 වනදා ඓතිහාසික ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු මේ තත්වය තවත් දිස්ත්‍රික්ක 9ක් කරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වුණු බවයි. 

නීතිය මහාචාර්යතුමා එක්කම නිදිද ? 

ජනතාව අතර ජාතිවාදී හෝ ආගම්වාදී පදනමින් කෝලාහල ඇතිකිරීම සඳහා ප්‍රචාරණ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත (ICCPR) තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ ඒ පනත ක්‍රියාත්මක කෙරෙන්නේ කෙටිකතාවක් ලියූ ශක්තික සත්කුමාර හිරේ දැමීමට පමණි. දැවැන්ත ජීවිත සහ දේපළ විනාශයක් සිදුවිය හැකි පරිද්දෙන් සහ එවැන්ක් කිරීම අරමුණු කරගනිමින් ජාතිවාදී පදනමින් යුතුව, සිය මහාචාර්ය තනතුර ද උපයෝගී කරගනිමින් ජනතාව අතර සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය කළ මහාචාර්ය චන්න ජයසුමනට එරෙහිව කිසිදු නීතියක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත. 

අවම වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැත. 

මහාචාර්ය තනතුර යනු ජනතාව අතර බොරු පතුරුවා හැරීමට ලැබෙන බලපත්‍රයක්ද යන්න සියලුම ආරක්ෂක වෙතින් අපට ඇසීමට සිදුව තිබේ ! 

අමු තක්කඩියෙකු වන මහාචාර්යතුමා මේ සම්බන්ධයෙන් තමන් මේ වනතෙක් වීරයකු ලෙස ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කළ සියළුම පුවත් මේ වනවිට ඉවත් කරගෙන, තමන්ට එරෙහි සාක්ෂි සඟවා ඇති බව ද වාර්තා විය.