විමර්ශන නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් රතන හිමිට එරෙහිව CIDය අධිකරණයට කරුණු දක්වයි

විමර්ශන නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් රතන හිමිට එරෙහිව CIDය අධිකරණයට කරුණු දක්වයි

28 June 2019 02:25 pm

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එල්ල කෙරුණු වඳ සැත්කම් චෝදනාව පිළිබඳ විමර්ශනය කරන විමර්ශන නිලධාරීන්ට තර්ජනාත්මක බලපෑම් කරමින් බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන්ට බලපෑම් එල්ල කෙරෙන ආකාරයෙන් දිගින් දිගටම මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පැවැත්වූ රතන හිමි නඩුව කැඳවූ දිනයට පෙර දිනයේ ද කුරුණෑගල ප්‍රදේශයේ දී මෙම සිද්ධිය ඔප්පු කළ යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව නොව සමාජ විද්‍යාත්මකව බව කියමින් වර්ගවාදී ප්‍රකාශ ගණනාවක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද බලපෑම් සහගත ආකාරයෙන් තමන්ට ද දරුවන් සිටින බව ඔවුන් සිතිය යුතුයැයි ද ප්‍රකාශ කර තිබිණි. 

ඊයේ (27) දිනයේ ද තම ආධාරකරුවන් පිරිසක් සමඟ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි එහිමි අධිකරණ භූමියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතාට තට්ටු කරමින් තර්ජනාත්මක අයුරින් "ලෝකයම බලාගෙන ඉන්නවා" යැයි ප්‍රකාශ කර තිබිණි. 

එසේම නඩු කටයුත්තෙන් පසුව මාධ්‍ය අමතමින් එහිමි සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතාට ප්‍රසිද්ධියේ බැණ වදින්නට ද අමතක කළේ නැත. 

මේ අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි දිගින් දිගටම විමර්ශන නිලධාරීන්ට තර්ජනය කරමින් බලපෑම් කරන නිසා ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

ඉදිරි මැතිවරණයේදී ද කවර හෝ පක්ෂයක ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා රතන හිමි මේ දිනවල මාරාන්තික මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බව රටම දන්නා කරුණකි.