සාෆිට එරෙහිව චෝදනා අසත්‍යයයි - CIDය අධිකරණයට දැනුම් දෙයි !

සාෆිට එරෙහිව චෝදනා අසත්‍යයයි - CIDය අධිකරණයට දැනුම් දෙයි !

27 June 2019 07:46 pm

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතාට එරෙහිව මාධ්‍ය හරහා එල්ල කළ වඳ සැත්කම් චෝදනාව හෝ අයථා වත්කම් චෝදනාව හෝ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ, මේ පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමිනි. 

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා වාර්ගික පදනමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙම වෛද්‍යවරයා සිංහල මවුවරුන් 3479ක්, මුස්ලිම් මවුවරුන් 860ක් සහ දෙමළ මවුවරුන් 33 දෙනෙකු සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇති බවකි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් අධිකරණය කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු විවිධ අසාත්මිකතා ඇතිවූ බවට ලැබුණු පැමිණිලි 615ක් අතරින් 468ක් හුදු සැකය මත පදනම්ව කළ පැමිණිලි බවත් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් අතරින් මවුවරුන් 13 දෙනෙකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත් ඒ අතරින් ද පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ මවුවරුන් දෙදෙනෙකු පමණක් බවත් ඉතිරි පැමිණිලි 11ම අසත්‍ය ඒවා බවත්ය. 

එසේම වෛද්‍ය සහාබ්දීන් සාෆි සමඟ සැත්කම්වලට සහභාගී වූ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් සාක්ෂි විමසමින් ප්‍රකාශ සටහන් කරගත් බව අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සාක්ෂි අනුව වෛද්‍ය සාෆි මවුවරුන් වඳ භාවයට පත් කිරීමක් සිදුකර නැතැයි තහවුරු වූ බව ද සඳහන් කළේය. 

ඒ අනුව වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ වී නොමැති නිසා ඔහු තවදුරටත් රඳවා තබාගෙන සිටීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීන්දුවකට එළඑන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ. 

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ කර ඇති බවට පළ කෙරුණු පුවත දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු සහ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් ගොතන ලද අතේ රෝලක් බව ලංකා නිව්ස් වෙබ් අපි මුල පටන්ම එකම ස්ථාවරයේ පිහිටා සිටිමින් අනාවරණය කළෙමු. 

අනේක නින්දා අපහාස මැද අප දිගින් දිගටම කී කරුණ දැන් අධිකරණය ඉදිරියේ සනාථ වී තිබේ. 

මෙම ජාතිවාදී කෝලාහළයක් ඇති කිරීමේ අරමුණින් යුතුව පැළ කළ ව්‍යාජ පුවතින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා ඊට තව තව පොහොර දැමුයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමීප සගයෙකු වන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතියක් ලෙස ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, අතුරලියේ රතන හිමි, පොහොට්ටුවට හිතවත් විද්‍යුත් මාධ්‍ය ආයතන සහ දිවයින, ලංකාදීප ඇතුළු පුවත්පත් කිහිපයක් බවත් අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු. 

රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව ඔප්පු කිරීමට නම් දැන් කළ යුතුව ඇත්තේ රුධිරයම ඉල්ලන මෙකී ලේ පිපාසිත ජාතිවාදී උම්මත්තකයින් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමය.