මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා දිගුවට රටේ හා හමුදාවේ ප්‍රසාදය

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා දිගුවට රටේ හා හමුදාවේ ප්‍රසාදය

26 June 2019 09:33 am

යහපාලන රජය පත්වීමෙන් පසු ජනපති ඇතුළු රජය විසින් සංහිඳියාව යන වචනයට මුල්තැනක් ලබාදී ලෝකයේ අනෙක් රාජ්‍යයන් සතුටුකිරීම සදහා මහ ජාතියට වඩා සුළු ජාතින්ට සලකන බවටත්, රණවිරුවන්ට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන්ගෙන් පලිගැනිමට කටයුතු කරන බවටත් රටේ ඇතිවු කථිකාවට නායක ස්වාමින් වහන්සේලාගේ අප්‍රසාදයටද,  විපක්ෂයේ හා මාධ්‍යවල දැඩි විවේචනයටද භාජනය විය. 

විශේෂයෙන් යුද්ධයේදි විශාල කාර්යභාරයක් ඉටුකළ බුද්ධි අංශ නිළධාරින් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදුවිය. 

යුධබිමේ දස්කම්පෑ නිළධාරින් (විශේෂයෙන් අවසන් යුද්ධයේදි සේනාංකවලට අණදුන් ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, නන්දන උඩවත්ත) යුද අපරාධකරුවන් ලෙස නම්කර චෝදනා එල්ලකල  හැකිබවට සැකයක්ද, ඔවුන්ට රජයෙන් නිසි ඇගයීමක් හා සැලකිල්ලක් නොදක්වීම පිළිබදවද, ඔවුන් විශ්‍රාමයාමෙන් පසුව රජය කිසිදු තනතුරකට පත්කිරීමට  කටයුතු නොකිරීම පිලිබදවද ඔවුන්ගේ අප්‍රසාදය පළ කරන ලදී.

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර සදහා බොහෝ අවස්ථාවල පුද්ගලයන් තෝරාගැනීමේදි යල්පැනගිය හා ඵලදායි නොවන ක්‍රමවේදයක්වු (outdated & ineffective method) ජ්‍යෙෂ්ඨත්වය (seniority) යන සුදුසුකම පමණක්ම සැලකිල්ලට ගත් අවස්ථා ඉතිහාසයේ ඇත. නමුත් අවසන් වරට එම තනතුරේ පුරප්පාඩුව පිරවීමේදි ජ්‍යෙෂ්ඨත්වයට අමතරව රාජකාරියට කැපවීම, දැණුම, අත්දැකීම්, නිපුණත්වය, අවංකකම හා විනය (dedication, knowledge, experience, competence, honesty & discipline) යන ඉතා වැදගත් කරුණුද සැලකිල්ලට ගනිමින් වත්මන් ජනාධිපති විසින් ඉතාමත් නිවරදි තීරනයක් ගෙන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරන ලදී.

මෙම පත්වීම විශේෂයෙන්ම ත්‍රෛිනායක ස්වාමින් වහන්සේලාගේත්, අටමස්ථාන ඇතුළු ප්‍රධාන විහාරස්ථානවල නායක ස්වාමින්වහන්සේලා ඇතුළු අනෙක් ආගමික නායකයන්ගේත් පැසසුමට භාජනයවු කරුණක් විය. මීට අමතරව රජයේ බොහෝ කැබිනට් අමාත්‍යවරුන් (ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ඇතුළු) විපක්ෂයේ දේශපාලඥයන් (විශේෂයෙන්ම ශ්‍රිලනිප) බුද්ධිමතුන් ඇතුළු පොදු ජනතාවගේත්, ආරක්ෂක හමුදාවල හා මාධ්‍යවල එම පත්වීම ලබාදීම අගය කරුනු විනා විවේචනය කිරීමක් දක්නට නොතිබුනි. මෙවැනි පත්කිරිම්වල ඇති ඉතා වැදගත් පශ්චාත් ඵලයක් (after effect) වන්නේ රාජකාරියට කැපවීම, දැණුම, නිපුනත්වය, අවංකකම හා විනය හොදින් පවත්වාගෙන ගියහොත් ජ්‍යෙෂ්ඨයන් සිටියදී වුවද හමුදා සාමාජිකයන්ට තම දක්ෂතාවය වෙනුවෙන් නිසි ඇගයීමක් ලබාගැනීමට හැකි බවට විශ්වාසයක් ගොඩනැගී ඔවුන් අභිප්‍රේරණය (motivation) කිරිමක් සිදුවීම මගින් හමුදාවල කාර්යක්ෂමතාවය  ඉහළ යාමයි.

වසර ගනනාවක් පාබල රෙජිමේන්තු නිළධාරියකු ලෙස යුද්ධයට සක්‍රියව දායකවෙමින්, අවසන් යුද්ධයේදි වැඩිම භූමි ප්‍රමාණයක් අත්පත්කරගෙන, වැඩිම අවිආයුධ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අවසානයේ මානුෂික මෙහෙයුමේදි වැඩිම ජීවිත ගනනාවක් බේරාගැනීමට කටයුතු කළ 58 සේනාංකයට නායකත්වය ලබදුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට වයස වසර 55 සම්පූර්ණවීම හේතුවෙන් වසර 36ක සේවාකාලයක් අවසානයේ ජූනි 21 දින විශ්‍රාමයාමට සිටියදී 2019 දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක් ලබාදීමට ජනපති විසින් කටයුතු කරන ලදී. මෙය රටේ බොහෝ දෙනෙකුගේ හා මාධ්‍යවල පැසසුමට ලක්වු කාරණයක්වු අතර ඔවුන් එය බලාපොරොත්තුවෙන් සිටි කාරණයක් බවද පෙනීයන ලදී. තවද රටේ වත්මන්ව ඇතිවී තිබෙන අයහපත් වාතාවරණය අනුව යුධබිමේ වැඩිම අත්දැකීම් ඇති, තම හැකියාවන් ක්‍රියාවෙන්  ඔප්පුකර පෙන්වා ඇති දක්ෂ නිළධාරියකුගේ සේවය තවදුරටත් රටට අවශ්‍යම අවස්ථාවක ඔහුව විශ්‍රාම යැවීම විශාල අපරාධයක් බව ජනපති නිවැරදිව තේරුම්ගැනීම සියල්ලන් අගය කරනු ඇත.   

මෙම සේවා දිගුව ලබාදීමේ තීරණය හේතුවෙන් රාත්‍රියේ ඝණදුර සඳකැන් මගින් දුරුවන්නාසේ රණවිරුවන්ට නිසි තැන ලබානොදී ඔවුන්ගෙන් පළිගැනීමට තැත්කළ රජයේ ප්‍රධානියා ලෙස ජනපතිට විවිධ පුද්ගලයන්ගෙන් තිබූ චෝදනාව කෙමෙන් කෙමෙන් දුරුවීයාමට උපකාරි වියහැක. මෙයට අමතරව රජය විසින් පත්කල තේරීම් කාරක සභාව ඉදිරියේ බුද්ධි නිළධාරින් සාක්ෂි ලබාදීමේදි ඔවුන්ගේ අනන්‍යතාවය හා රහස්‍ය බුද්ධි කරුණු හෙලිවන බව හේතුලෙස දක්වා ඒවාට සහභාගි නොවන ලෙසට පසුගියදා ජනපති උපදෙස් ලබාදීමද, නාවික ගුවන් හමුදාවලට හා පොලිසියට ප්‍රධානින් ලෙස නුදුරේදි සුදුසු නිළධාරින් පත්කිරිමද යන කරුණුද නිසා ජනපති කෙරෙහි  යම් ප්‍රමානයක ප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

එම නිසා පසුගිය අමිහිරි අත්දැකීම් සියල්ල සැලකිල්ලට ගෙන ඉදිරියේදි පුරප්පාඩුවන රජයේ දෙපාර්තමේන්තු, නීති ක්‍ෂේත්‍රයේ, ආරක්ෂක හමුදාවල හා පොලිසියේ වගකිවයුතු තනතුරු සදහා පුද්ගලයන් තේරීමේදී ඉහත සදහන් කරුණු සැලකිල්ලට ගෙන පවතින ක්‍රමවේද යාවත්කාලීන කර ඉතාමත් කාලෝචිත විනිවිධාත්මක තෝරාගැනීමේ නිර්ණායකයන් සකස්කර ඉතාමත් සුදුස්සන් තනතුරුවලට පත්කරගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම මගින් ජනපති කෙරෙහි සමස්ථ ජනතාවගේම ප්‍රසාදය ලබාගත හැක.

- විශේෂ ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි.