දිවයින පුවත්පතෙන් තවත් සමාජ සත්කාරයක් !

දිවයින පුවත්පතෙන් තවත් සමාජ සත්කාරයක් !

25 June 2019 05:34 am

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල සහ මහරගම පිළිකා රෝහල යන රෝහල් තුන ආසන්නයේ සම්පූර්ණයෙන්ම නොමිලේ ආහාර සපයන ආපනශාලා තුනක් පිහිටා තිබිණි. 

බුෆේ ක්‍රමයට ඉතාම ඉහළ මට්ටමෙන් සැකසූ මෙම ආහාර නොමිලේ ලබාදෙන ලද්දේ ඉහත කී රෝහල්වල රෝගීන් බැලීම සඳහා, බාහිර ප්‍රතිකාර ලබාගැනීම සඳහා සහ රෝගීන් ළඟ නැවතී සිටීම සඳහා පැමිණෙන ජනතාව වෙතය. 

වසර හතරකට අධික කාලයක් තිස්සේ, සාමුහික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් ලෙස මෙම ආපනශාලා පවත්වාගෙන ගියේ එක්ස්පෝ ලංකා සමාගම විසිනි. එය ශ්‍රී ලංකාවේ විශාලතම මුස්ලිම් ව්‍යාපාර ආයතනයක් වේ. 

දිවයිනේ ජඩමාධ්‍ය භාවිතාව 

පසුගිය ජුනි 22 වන සෙනසුරාදා දිවයින පුවත්පතේ පුවතක් පළ කර තිබුණේ "රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්ලිම් සංවිධාන ගැන සොයන්න - ගාමිණී ලොකුගේ ආණ්ඩුවෙන් ඉල්ලයි" යනුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස එම පුවත නිර්මාණය කර තිබුණේ මෙම ආපනශාලාවල ආහාරවලට වඳ බෙහෙත් මිශ්‍ර කර, මෙම ආහාර හරහා කාන්තාවන් වඳ භාවයට පත් කරන්නේදැයි සැකයක් ඇති බව කියමිනි. 

රෝහල්වල සායනවලට පැමිණෙන බෞද්ධ කාන්තාවන් සොයාගෙන ගොස් ඔවුන්ට ටිකට් එකක් ලබාදී මෙම ආපනශාලාවලින් ආහාර ගැනීම සඳහා ඔවුන්ව කැඳවන බැවින් මෙය ඉතාම සැකසහිත බවත් වසර හතරක් තිස්සේ මෙසේ නොමිලේ ආහාර දෙන්නේ කුමන පදනමකින්දැයි නොදන්නා බවත් මේ තරම් ඔවුන් උනන්දු වන්නේ කුමක් නිසාදැයි නොතේරෙන බවත් කියමින් ඉතාම ද්වේෂ සභගත ලෙස එම පුවත සකස් කර තිබිණි. 

සැබැවින්ම දිවයින පුවත්පත කර තිබුණේ ඔවුන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ එක්ව නිර්මාණය කළ වඳ සැත්කම් කතාවටම මෙයත් කොණකින් ගැට ගැසීමය. වඳ සැත්කම් කතාවේ රෙදි ගැළවෙමින් තිබෙන මොහොතක වඳ පෙති කතාවට යළි පණ දීමය. 

ආපනශාලා වසා දැමේ 

මෙම පුවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් විසින් ද දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබුණු අතර අවසානයේ රටේ පවතින කැළඹිලිකාරී තත්වය අනුව සමාගමට සිදුවුණේ මෙකී ආපනශාලා වසා දමන්නටය. 

ඒ අනුව දිනපතා උදෑසන දහවල් දහස් ගණන් ජනතාවකට නොමිලේ ආහාර සැපයූ, ඉතා ඉහළ මට්ටමේ ආහාර නොමිලේ සැපයූ, සාමුහික සමාජ වගකීම් ව්‍යාපෘතිය නවතා දමන ලදී. 

දිවයින පුවත්පතේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුප්පහි දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස, රෝහල් කරා එන අහිංසක ජනතාවට නොමිලේ ආහාර වේලක් ලබාගැනීමට තිබුණු අවස්ථාව අහිමි කෙරිණි. 

ලොකුගේ කතාව ප්‍රතික්ෂේප කරයි 

කෙසේවෙතත් ඊයේ (24) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබුණේ තමන් එවැනි කතාවක් ඔවුන් වෙත නොකී බව පවසමිනි. 

ඒ අනුව දිවයින පුවත්පත මාසයක් තුළ දෙවන වතාවටත් මුස්ලිම් ජනතාව කෙරෙහි සැකය, ද්වේෂය පතුරුවා හරිමින් ජාතිවාදී කෝලාහළයක් ඇතිකිරීමේ අරමුණින් යුතුව ව්‍යාජ පුවතක් පළ කර තිබේ. 

ICCPR කොහිද ? පොලිසිය නිදිද ? 

ජාතීන් අතර වෛරය පතුරුවා හරින, ගැටුම් ඇවිළෙන ආකාරයෙන් ප්‍රචාරණ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට ඇති අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත (ICCPR) ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වෙන්නේ ශක්තික සත්කුමාරට නඩු දාන්නටය. කුසල් පෙරේරාට නඩු දාන්නටය. දිලිත් ජයවීරට නඩු දාන්නටය. 

පට්ටපල් කෙබර රචනා කරමින් ප්‍රචණ්ඩත්වයට දරදිය අදින, ගිනි අවුළුවන්නට පෙට්‍රෝල් අදින දිවයින පුවත්පතට එරෙහිව මේ දිවයින තුළ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන ද දිවයින පුවත්පත සමඟම නිදිවැදී සිටී. 

දිවයින කියූ සැණින් පැමිණිලිත් නැතිව, නීතියටත් පිටින් පුද්ගලයින් අත් අඩංගුවට ගැනේ, දිවයින කියූ සැණින් ආපනශාලා වසා දැමේ. දැන් ශ්‍රී ලංකාව යනු දිවයින පුවත්පතටම, දිවයින පුවත්පතේ ජාතිවාදී විෂ වපුරන ලේ මාපිල් හැතිකරයටම ගිය රටක් විය යුතුය. 

හඬනු මැන දිවයින ! 

පුවත්පත් කීප දහසක් විකුණා ගැනීම සඳහා සහ පොහොට්ටුවේ දේශපාලන වුවමනාවන් සන්තර්පණය කිරීම සඳහා පැහැදිලිවම රට ගිනිතැබීමේ ඒකායන දුෂ්ඨ, පාහර අරමුණින් යුතුව අමු නිරුවතින් ජනමාධ්‍ය භාවිතාව ගණිකා වෘත්තියේ යොදවන දිවයින අද දුටුවේ නම් එහි නිර්මාතෘ, ප්‍රකට ව්‍යාපාරික උපාලි විජ්වර්ධන මහතාට කුමක් සිතෙනු ඇතිද ? 

සිය හැකියාව, ප්‍රතිභාව, නිර්මාණශීලීත්වය, විෂය දැනුම හරහා දිවයින පුවත්පත ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට, එක් යුගයක සලකුණක් බවට පත් කළ දයාසේන ගුණසිංහයන්, අජිත් සමරනායක වැන්නන් අද දිවයින පුවත්පත වැටී ඇති නීච, නින්දිත, දීන, නිහීන තත්වය දුටුවේ නම් කුමක් සිතනු ඇතිද ? 

තම දහඩිය මහන්සියෙන් ගොඩනැඟුණු දිවයින අද වනවිට ජාතිවාදී ත්‍රාඩ දේශපාලකයින්ගේ රට ගිනිතැබීමේ කෲර වුවමනාවන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන පාහර, අලුකුත්තේරු, අපත, කල්ලකඩත්ත පිම්පියන් රෑනක් අතට පත්ව ඇති දුටුවේ නම් ඔවුන්ට කුමක් සිතෙනු ඇතිද ? 

අවසානයේ අපට කියන්නට ඇත්තේ හඬනු මැන දිවයින කියාය.