පැලෝපීය DIGට පොලිස් කොමිසමෙන් තෑග්ගක්. කුරුණෑගලට අමතරව පුත්තලමත් !

පැලෝපීය DIGට පොලිස් කොමිසමෙන් තෑග්ගක්. කුරුණෑගලට අමතරව පුත්තලමත් !

22 June 2019 06:36 pm

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලදැයි යන සාවද්‍ය පුවත නිර්මාණය කරමින් රට තුළ ජාතිවාදී කෝලාහලයක් ඇතිකරවීමට උත්සාහ දැරූ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට එම දිසාවට අමතරව පුත්තලම දිසාවත් භාරදී තිබේ. 

කුරුණෑගල දිසාවට අමතරව පුත්තලම දිසාවත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජාතික පොලිස් කොමිසම විසින් ඔහුව පත් කර ඇත. 

ඒ, ඉහත කී සිදුවීම සම්බන්ධයෙන් බරපතළ මට්ටමේ චෝදනා තුනක් කිත්සිරි ජයලත් මහතා වෙත එල්ල වී තිබියදීත්ය. 

මෙම වඳ සැත්කම් කතාව රෝපණය කිරීම සඳහා තමන්ට තොරතුරු ලබා දුන්නේ කිත්සිරි ජයලත් මහතා විසින් බවට එම පුවත රචනා කරන ලද දිවයින පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්ඡාරණය කර තිබිණි. එය දුරකථන දත්ත පරීක්ෂා කිරීමෙන් ද තහවුරු වී තිබිණි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන වෛද්‍ය සහාබ්දීන් සාෆි, තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හමුවී නැත. එසේම මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලදැයි කතාව ගොතා ඇත්තේ මේ හරහා දැවැන්ත ආන්දෝලනයක් මතුකර ජාතිවාදී කෝලාහළයක් ඇතිකිරීමේ චේතනාවෙන්ම පැහැදිලිව පෙනෙන්නේ දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් සහ වන්දි ලබාදෙන බවට ප්‍රචාරයක් ගෙන යාමෙන් අනතුරුවත් පැමිණිලි ලැබී ඇත්තේ දහසක පමණ සංඛ්‍යාවක් බැවිනි. 

එම පැමිණිලි අතරිනුත් අති බහුතරය දරු ඵල නොලැබීම සම්බන්ධයෙන් නොව සිසේරියන් සැත්කම් වලදී තමන්ට යම් ආබාධයක් ඇතිව ඇත්දැයි සැක හැරගැනීම සඳහා මවුවරුන් විසින් දැමූ පැමිණිලි වේ. 

එසේම අදාළ වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් අතරතුර එසේ වඳ භාවයට පත් කිරීමක් සිදු නොකළ බවට කුරුණෑගල රෝහලේ එම සැත්කම්වලට සහභාගී වූ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු විසින් සාක්ෂි ලබාදී තිබේ. 

ඒ අනුව, ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම, හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම සහ පොලිසිය නොමඟ යැවීම යන චෝදනා තුන දැනටමත් ඔහුට එල්ල වී ඇත. 

මීට අමතරව අයථා වත්කම් චෝදනාවක් යටතේ වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ ද කිත්සිරි ජයලත් මහතාගේ නියෝගයක් අනුව වන අතර අයථා වත්කම් චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම් සඳහා අධිකරණ බලය ඇත්තේ පොලිසියට නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටය. එතැනදීත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වරදක් කර තිබේ. 

ආයතන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය යන දෙකම යටතේ මෙවන් බරපතළ චෝදනා එල්ල වී සිටින පුද්ගලයකුට තවත් තනතුරු ලබාදීමේ ජාතික පොලිස් කොමිසමේ ක්‍රියා පිළිවෙත දැඩි ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුකර ඇත.