එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරූද ධම්මිකද සජිත්ද ?

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරූද ධම්මිකද සජිත්ද ?

22 June 2019 08:15 am

පසුගිය 19 වනදා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාද නැතිනම් ධම්මික පෙරේරා මහතාද යන්න මාධ්‍යවේදීන් විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෘජු පිළිතුරක් ලබා දුන්නේ නැත. 

අපේක්ෂකයා මේ වනවිටත් තීරණය කර ඇති බව පැවසූ ඒ මහතා "අපේක්ෂකයා සජිත්ද ?" "ධම්මික පෙරේරාද ?" යනුවෙන් ඇසූ ප්‍රශ්න දෙකටම පිළිතුරු දුන්නේ "වෙලාව ආවාම කියන්නම්" යනුවෙනි. 

මේ අතර ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ජුලි 01 වනදා සිට ආරම්භ කෙරෙන බවයි. 

සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට තලතා අතුකෝරාළ අමාත්‍යවරිය කළ ප්‍රකාශයක් පිළිබඳ විමසීමේදී එජාප මහලේකම්වරයා ඊට පිළිතුරු දුන්නේ එක් එක් අයට එක් එක් මත තිබිය හැකි නමුත් අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය ගන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බව අවධාරණය කරමිනි. 

රවී කරුණානායක මහතා ද ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් රැස්වීමකදී අදහස් පළකරමින් පවසා තිබුණේ අපේක්ෂයා අධ්‍යාපන සුදුසුකම් සහිත, පරිණතභාවයකින් යුත්, දක්ෂතාවය ඉස්මතු කළ හැකි පුද්ගලයකු විය යුතු බවයි. අරයාගේ මෙයාගේ පුතුන් සිටියත් රෑ වැටුණු වලේ දවල් නොවැටිය යුතු බව ද ඒ මහතා සඳහන් කර තිබිණි.