අනේ බුදු මල්ලියේ, මාව බේරාගනිං - DIGගෙන් කොස්තාපල්ට වැඳුම්

අනේ බුදු මල්ලියේ, මාව බේරාගනිං - DIGගෙන් කොස්තාපල්ට වැඳුම්

21 June 2019 06:57 am

රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා එවකට දකුණු පළාත භාර සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ පසුගිය 19 වනදාය. 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශය යතුරු ලියනය කරගැනීම සඳහා පොලිස් කොස්තාපල්වරයකු ද සූදානම්ව සිට ඇති අතර එම ස්ථානයට පැමිණි වහාම රවී විජේගුණවර්ධන මහතා "මල්ලියේ, අනේ බුදු මල්ලියේ මාව බේරාගනිං" යැයි කියමින් එම කොස්තාපල්වරයාට වැඳ ඇත. 

මෙය වසර 153ක පොලිස් ඉතිහාසය තුළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට වඳිනු ලැබූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වෙයි. 

කෙසේවෙතත් සිදුවීමෙන් වික්ෂිප්ත වී මඳ වේලාවක් සිටි කොස්තාපල්වරයා "ඉතිං සර් මං මොකද්ද කරන්නේ ?" යනුවෙන් විමසා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා "මං දන්නෙ නෑ බං. උඹට හිතෙන දෙයක් කරලා මාව බේරගනිං" යනුවෙන් පිළිතුරු දී තිබිණි. 

පැය 07ක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව එම කොස්තාපල්වරයා සිය මිතුරන් සමඟ සිද්ධිය පවසමින් ප්‍රකාශ කර තිබුණේ "මට හරි දුකයි බං, බොස් කෙනෙක් එහෙම ඇවිල්ලා මං වගේ එකෙක්ට වැන්දාට. මං මොනවා කරන්නද ? ඔය ලොක්කෙකුටම වැඳලා මොකක් හරි කරගන්න බැලුවා නම් ඉවරයිනෙ" යනුවෙනි. 

රත්ගම ව්‍යාපාරික තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ඝාතනය කර මළ සිරුරු ද පුළුස්සා විනාශ කර තිබුණේ දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශෙෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අත් අඩංගුවට ගත් පසුව එම නිලධාරීන් හෙළි කළ කරුණු අනුව, රවී විජේගුණවර්ධන මහතා මෙම අපරාධය පිළිබඳව දැනුවත්ව සිට ඇති අතර මළ සිරුරු විනාශ කරන ලෙස නියෝග කර තිබුණේ ද ඔහු විසිනි. 

එසේම තමන් යටතේ තිබුණු දකුණු පළාතේ එකදු පොලිසියකින්වත් මෙම තරුණයින් පැහැරගෙන යාම පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු නොකෙරෙන තැනටත් මාසයක් තිස්සේ ඔහු වගබලාගෙන තිබිණි. 

අද කොස්තාපල්වරුන්ටත් වැඳ වැටෙමින් ගැළවීම සොයන්නේ එවන් වැරදිවලටය. 

මෙවන් අපරාධයකට සම්බන්ධ බවට තොරතුරු හෙලිදරව් වී තිබියදීත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අවම වශයෙන් අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ සිදු නොකෙරුණු අතර දැන් ඔහු උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ක්‍රියාකරමින් සිටී.