රත්ගම ඝාතනය : ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට CIDයෙන් කැඳවීමක්

රත්ගම ඝාතනය : ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට CIDයෙන් කැඳවීමක්

14 June 2019 02:44 pm

රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. 

මෙම ව්‍යාපාරික තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කර, ඝාතනය කර, මළ සිරුරු පුළුස්සා විනාශ කර තිබුණේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි. එම ඒකකය ක්‍රියාත්මක වූයේ එවකට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවී විජේගුණවර්ධන මහතා යටතේය. 

ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැණුනු පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී තිබුණේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ඝාතන සම්බන්ධයෙන් දැනුවත්ව සිටියා පමණක් නොව මළ සිරුරු විනාශ කිරීමට නියෝග කර ඇත්තේ ද ඔහු විසින් බවයි. 

එහෙත් ඔහුව දකුණු පළාතේ සිට පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබා දුන්නා විනා අත් අඩංගුවට ගැනීමක් තබා අවම වශයෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ සිදු කෙරුණේ නැත. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව තිබුණු කලබලකාරී තත්වය මධ්‍යයේ කාගේවත් වැඩි අවධානයකට ලක් නොවී ඔහුව උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර යවා තිබිණි. 

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ලබන අතර ඒ අනුව රවී විජේගුණවර්ධන මහතාට ලබන සතිය ආරම්භයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.