කෙටිකතාවක් නිසා ලේඛක ශක්තිකව හිරේ යැව්වේත් කුරුණෑගල DIG

කෙටිකතාවක් නිසා ලේඛක ශක්තිකව හිරේ යැව්වේත් කුරුණෑගල DIG

11 June 2019 09:09 am

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කළ කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළේයැයි කියමින් ශක්තික සත්කුමාර නම් ලේඛකයා දෙමසකට අධික කාලයක් තිස්සේ සිරගත කරවීම පසුපස සිටින්නේ ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා බව වාර්තා වේ. 

පොල්ගහවෙල ප්‍රදේශයේ නාමික භික්ෂු සංවිධානයක් විසින් කළ පැමිණිල්ලක් අනුව අදාළ ලේඛකයාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත නොහැකි වන පරිදි, එනම් මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරගන්නා තෙක් මාස දෙකකට අධික කාලයක් අනිවාර්යෙයෙන්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුවන පරිදි අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ ( ICCPR ) චෝදනා ගොනු කරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසිනි. 

සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ හැකිව තිබියදී මෙම විශේෂ පනත යටතේ චෝදනා ගොනු කිරීම වැරදි බව අධිකරණයේදී ද පිළිගැනීමට ලක්ව ඇතත් ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති නිසා ශක්තික සත්කුමාරට පසුගිය අප්‍රේල් 01 වනදා සිට මේ දක්වාම රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුව තිබේ. 

තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කළ බවට සාවද්‍ය පුවතක් නිර්මාණය කරමින් රට තුළ මහත් කැළඹීමක් ඇති කිරීම සඳහා දිවයින පුවත්පතට තොරතුරු ලබාදී ඇත්තේ ද මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාමය.