මාකඳුරේ මධුෂ්ට ඇත්තේත් හෝකන්දර වීරවංශට ඇති චෝදනාවමයි !

මාකඳුරේ මධුෂ්ට ඇත්තේත් හෝකන්දර වීරවංශට ඇති චෝදනාවමයි !

10 June 2019 07:26 am

මාසයක් තිස්සේ මහන්සි වීමෙන් අනතුරුවත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඔප්පු කළ හැකි මට්ටමෙන් මෙතෙක් සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඔහු විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කළේය යන්න පමණක් බව වාර්තා වේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ද මෙම චෝදනාව නම් එල්ල වී තිබේ. 

පාතාලයේ ගෝඩ් ෆාදර්

මාකඳුරේ මධුෂ්ව පසුගිය කාලයේ හැඳින්වුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් යනුවෙනි. මත් ද්‍රව්‍ය ජාවාරම්, මිනී මැරුම් ඇතුළු අපරාධ රැසක් මෙහෙයවූ බවට ඔහුගේ නම කියැවිණි. 

එහෙත් ඒ එකක්වත් ඔහුට එරෙහිව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි මට්ටමේ නොපවතින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ. 

මාකඳුරේ මධුෂ් තමන්ට තිබුණු දේශපාලන සම්බන්ධතා, නිලධාරී සම්බන්ධතා සහ පාතාල සම්බන්ධතා මැනවින් හසුරුවමින් සිය පාතාල අධිරාජ්‍යය පවත්වාගෙන ගොස් ඇති සූක්ෂම ආකාරය කෙසේදයත් ඒ හරහා සිදුවූ කිසිදු අපරාධයකට ඔහුගේ සම්බන්ධයක් සොයාගැනීමට නොහැකි වී තිබේ. 

මේ අනුව පෙනී යන්නේ මධුෂ් යනු ගඩ්ඩ කපටියෙක් මෙන්ම ගෝඩ් ෆාදර් නමටම ගැළපෙන කෙරුවාවකින් යුත් වැඩකරුවෙක් බවයි. 

ඩැනී හිත්තැටිය ඝාතනය 

මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් නඩුවක් පැවතුණත් ඩැනී හිත්තැටිය මහතා ඝාතනයට ලක්වූ මොහොත වනවිට මධුෂ් සිටියේ බන්ධනාගාරගතව ය. ඔහු බන්ධනාගාරයේ සිට ජේලර්වරයකුගේ දුරකථනයක් මඟින් අදාළ ඝාතනය සඳහා පාතාල සගයින්ට නියෝග ලබාදුන් බව කියැවුණත් එය පිළිබඳව ඒ යුගයේදී නිසි විමර්ශනයක් සිදුකර නොමැත. 

එහෙයින් අද වනවිට එම කරුණ ඔප්පු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති අතර දක්ෂ නීතීඥයකුට එම නඩුව පහසුවෙන් බිඳ හෙළිය හැකිවනු ඇති බවයි ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් පෙන්වා දෙන්නේ. 

රහස් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව උභතෝකෝටිකයක

තමන් සතුව පැවති සම්බන්ධතා ජාලය පිළිබඳව මධුෂ් බොහෝ කරුණු අනාවරණය කර ඇතත් ඒ හරහා ඔහු අපරාධයකට සම්බන්ධ බව තහවුරු කරගත නොහැකි වී තිබේ. 

මේ නිසා, මාකඳුරේ මධුෂ් නීතිය ඉදිරියේ කොටු කරගැනීම සම්බන්ධයෙන් විශාල උභතෝකෝටිකයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින බවත් වාර්තා විය.