පොලිස්පති පූජිත් මේ අන්දන්න හදන්නේ කාවද ?

පොලිස්පති පූජිත් මේ අන්දන්න හදන්නේ කාවද ?

7 June 2019 01:32 am

2018 ඔක්තෝබර් 23 වනදා සිට තමන්ව ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී කර නොගත් බවට ඇතුළු කරුණු ගණනාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ (06) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ හෙළිදරව් කළේය. ඒ සියල්ල ආන්දෝලනාත්මක, සංවේදී කරුණු බව ඇත්තය.

 

විශේෂයෙන් ආරක්ෂක මණ්ඩලයට අදාළ පුද්ගලයින් වෙනුවට තම හිතවතුන් කැඳවා එය ළිඳ ළඟ සංගමයක් කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බාරගත යුතුව ඇත. එහි කතා දෙකකුත් නැත. එහෙත් ඒ කිසිවක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු දැන සිටියදීත් සිය රාජකාරි වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නිදහසට කාරණා නොවන බවත් අවධාරණය කළ යුතුය.

පොලිස් දෙපාර්තමේන්තුවේ නෛසර්ගික බලය

ආරක්ෂක මණ්ඩලය යනු ව්‍යවස්ථාපිත ආයතනයක් නොවේ. එය සමාලෝචන කමිටුවකි. නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනු ව්‍යවස්ථාපිත ආයතනයකි. ශ්‍රී ලංකාවෙහි නීතිය ක්‍රියාවෙහි යෙදවීමේ නෛසර්ගික බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටය. එහෙයින් නීතිය ක්‍රියාවෙහි නොයෙදුණු තැනක් ඇත්නම් එහි මූලික වගකීම පොලිස් දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා ලෙස පොලිස්පතිවරයාට පැවරේ.

ත්‍රස්තවාදීන් කල්ලියක් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට මෙන්ම එම ත්‍රස්ත කල්ලි සාමාජිකයින්ගේ නම්, ගම්, දුරකථන අංක, ඔවුන් ගැවසෙන ස්ථාන යනාදී සියලු තොරතුරු ලැබී තිබියදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට පොලිස්පතිවරයාට ආරක්ෂක මණ්ඩලයේ අවසරයක් වුවමනා නැත.

එසේම ත්‍රස්ත කල්ලියේ ප්‍රහාරයට ඉලක්ක විය ස්ථාන නම් කරමින් රටේ ජනතාවගේ ජීවිත අවදානමේ වැටී ඇති බවට තොරතුරු ලැබී තිබියදී ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද පොලිස්පතිවරයාට ආරක්ෂක මණ්ඩලයේ නියෝග වුවමනා නැත. ඒවා ඔහුගේ රාජකාරි වගකීම්ය.

ඒ අනුව සිය රාජකාරි වගකීම් පැහැර හැරීම තුළින් මිනිස් ජීවිත ගණනාවක් විනාශ වීමට ඉඩ සැළැස්වීම යන චෝදනාවෙන් පොලිස්පතිවරයාට නිදහස් විය නොහැක.

පොලිස්පතිගේ පරණ කෙරුවාව

අනෙක් අතට පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් 23 වනදාට පෙර මාරම වැඩ කොටසක් කරමින් සිටි බවත් ආරක්ෂක මණ්ඩලයට කැඳවීම නැවැන්වීම නිසා ඔහුට ඒ මාරම වැඩ කොටස කරගෙන යාමට නොහැකි වූ බවත් සිතන්නට තරම් අපට ඉතිහාසය අමතකත් නැත. ඔය කියනා දිනයට කලිනුත් පොලිස්පතිවරයා කළේ භාවනා පන්ති පැවැත්වීම, සුළු සේවකයින්ට පහරදීම, නිලධාරීන්ට කුණුහරුපයෙන් බැන වැදීම, ප්‍රසිද්ධ රැස්වීම්වල හඬා වැළපීම, කාන්තා පොලිස් නිලධාරිනියන්ට හිසතෙල් ගෑම, නුවර පෙරහැරේ නට නටා යෑම වැනි විකාර වැඩය. ඔහු දන්නා කලක පටන්ම කළේ රාජකාරි වගකීම් පැහැර හැරීමය.

එමෙන්ම පොලිස්පති පූජිත් යනු අනෙක්වා කෙසේ වෙතත් දේශපාලනඥයින් පිනවීමේ ශාස්ත්‍රය ඉහළින්ම දන්නා අංකූරෙකි. දේශපානඥයින් මේ මොහොතේත් සිටින්නේ ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් බෝල පාස් කරමිනි. එනිසා පොලිස්පති පූජිත් මෙතැන නටන්නට යන වන්නම ගැනත් අවධානයෙන් සිටිය යුතුය. නැවතත් අවධාරණය කළ යුතුව ඇත්තේ ඔහු විසින් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් වෙනම පියවර ගත යුතු වුවත් ඒවායින් රාජකාරි පැහැර හැරීම පිළිබඳ ඔහුට ඇති චෝදනාවෙන් නිදහස් වීමට රුකුළක් නොලැබෙන බවය. එසේ ගැලවිජ්ජාව පෙන්වන්නට ඉඩත් නොදිය යුතු බවය.