අමරේ පැණයක් ඇසුවා - ඔහු සිනාසුණා පමණයි !

අමරේ පැණයක් ඇසුවා - ඔහු සිනාසුණා පමණයි !

6 June 2019 09:18 am

දෙවන ධුර කාලය සඳහා තමන් ඉදිරිපත් නොවන බවටත් තරුණ ජවය සහිතව එක්සත් ජාතික පක්ෂය හරි මඟට පිවිසෙන්නේ නම් පමණක් ඔවුන්ට සහාය දක්වන බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රචාරය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ සේ කලබලයට පත්ව තිබිණි. ඒ, ජනාධිපතිවරයා එවැන්නක් ඔවුන් සමඟ සාකච්ඡා කර නොතිබුණු නිසාය.

ඊයේ (05) උදේ පාන්දරින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් තිබුණේ මේ ගැන විමසීමටය.

"ඔබතුමා මොකද්ද මේ කියලා තියෙනව කියලා කතාවක් යන්නෙ ? හැමතැනම කඩිගුල වගේ ඇවිස්සිලා, අපි දන්නෙත් නෑ" යනුවෙන් මහින්ද අමරවීර මහතා විමසද්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ හඬින් සිනාසීමට පටන්ගෙන ඇත.

ජනාධිපතිවරයා දිගටම සිනාසෙද්දී තුෂ්නිභූතව බලාසිටි අමරවීර මහතා අවසානයේ විමසා තිබුණේ සිනාසෙන්නේ ඇයිද කියාය.

"මගේ හිනාව තේරුම් ගන්න" යනුවෙන් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දී තිබුණු අතර අමරවීර මහතා ද ප්‍රශ්න ඇසීම නවත්වා තිබිණි.

මේ අතර, මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී තිබිණි.

ජනාධිපතිවරයා ඊට පිළිතුරු දී තිබුණේ "දයාසිරි දන්නවානෙ මං කරලා තියෙන වැඩ, කරන වැඩ සහ කරන්න ඉන්න වැඩ ගැන ... ඒනිසා කලබල නොවී ඉන්න" යනුවෙනි.

මෙහි හොඳම කතාව වන්නේ ප්‍රසිද්ධියේ වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලැබූ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයා තෝරා සිටින අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මධ්‍යහ්නයේ සිට ආගිය අතක් නොමැති වීමයි. ඔහු සිය දුරකථන පවා විසන්ධි කර ඇත. ඒ මහතාගේ සමීප හිතවතකු පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා උණ ගැනී සිටිනවා විය හැකි බවත් බරපතළ අවස්ථාවලදී එතුමාට උණ ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බවත්ය.