මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳ පරික්ෂණවලට බාධා නොකරනු ! - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳ පරික්ෂණවලට බාධා නොකරනු ! - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

20 November 2018 04:59 am

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට ආදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම පරීක්ෂණ කටයුතු තවදුරටත් අඩාල විය හැකි බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.
 
ලසන්න වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම, උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳව හැරුණු විට, කොළඔදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටියේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාය. එවැනි පසුබිමක් තුළ මෙම ස්ථාන මාරුව අදාල පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට විශාල බාධාවක් වන බව පැහැදිලිය.
 
ජනමාධ්‍යව්දීන්ට එරෙහිව පසුගිය වකවානුවේ සිදුවු අපරාධ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මේ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක වීම මේ වනවිටත් ඇත්තේ පසුගාමි තත්ත්වයකය. එවැනි පසුබිමක් යටතේ මෙවැනි ස්ථාන මාරුවීම් වැනි බාධා කිරීම මගින්, මෙම ක්‍රියාදාමය තවදුරටත් අඩාල කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවේ.
 
එබැවින් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මෙවැනි බාධාකිරීම්වලින් තොරව කඩිනමින් පවත්වා යුක්තිය ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.