ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවලට විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට විරෝධය - ලංකා ගුරු සංගමය

ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවලට විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට විරෝධය - ලංකා ගුරු සංගමය

22 July 2018 03:29 pm

ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවල විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේදී විභාග වංචා වැලැක්වීමට යැයි කියමින් මෙසේ විභාග ශාලාවලට විශ‍්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා, විභාග කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවලදී ප‍්‍රකාශ කර ඇති අතර මේ වනවිට එම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතී.
මෙතෙක් විභාග කටයුතු සිදු කරන ලද්දේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් විසිනි. ඔවුන්  විභාග කටයුතු සඳහා මනා පුහුණුවකින් හා පළපුරුද්දකින් යුතු නිලධාරීන් වේ. එම නිලධාරීන් සිටියදී බාහිර පුද්ගලයන් විභාග කටයුතුවල යෙදවීමෙන් විභාග අක‍්‍රමිකතා වැලැක්වීමක් නොව ජාතික විභාග කටයුතු මිලිටරිකරණය කිරීමක් සිදු වේ. එසේම හමුදා නිලධාරීන් විභාග ශාලාවල යෙදවීමෙන් නිදහස් මානසික තත්වයෙන් යුතුව විභාග අපේක්ෂකයන්ට විභාගයට මුහුණදීමට අවස්ථාව අහිමි වේ.
 
මේ තත්වය පිළිබඳව විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය මෙසේ ජාතික විභාග කටයුතු සඳහා විභාග ශාලාවලට හමුදා නිලධාරීන් හෝ අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙන් පරිබාහිර වෙනත් නිලධාරීන් යෙදවීම වහා නතර කරන ලෙස විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
 
පසුගිය කාලයේ විභාග අක‍්‍රමිකතා සිදුවූයේ විභාග ශාලාවලදී නොව විභාග දෙපාර්තමේන්තුවෙන් බවද සිහිපත් කර සිටිමු. විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීමේ ආන්දෝලනාත්මක සිදුවීම් සිදුවූයේ විභාග ශාලාවලදී නොව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න පත‍්‍රවල රහස්‍ය භාවය සුරැුකීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියා කළ ආකාරය නිසා බව වැඩිදුරටත් පෙන්වා දෙමු.