කළු ජූලියට වසර 35 යි ! ජාතිවාදී ගිනි අවුලමින් දේශපාලන සිරකරුවන් මරාදැමූ රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහි වෙමු !!

කළු ජූලියට වසර 35 යි ! ජාතිවාදී ගිනි අවුලමින් දේශපාලන සිරකරුවන් මරාදැමූ රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහි වෙමු !!

19 July 2018 02:06 pm

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු පැවති සිංහල මූලික ආණ්ඩු දිගින් දිගටම දෙමළ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ සමානාත්මතාවය නිරුවත් ලෙස මගහරිමින්, පාගා දමමින්, ඊට එරෙහිව ජාතිවාදී ප‍්‍රචන්ඩත්වය මුදාහළහ. වසර 1956, 58 හා 77 හිදී මුදාහළ සිංහල බෞද්ධ අධිපති මතවාදයේ ජාතිවාදී ප‍්‍රචන්ඩත්වයේ ගින්නෙන් දෙමළ ජනයා දැවුනද, එම ඉතිහාසයේ අඳුරුතම සලකුණ වන්නේ 1983 ජූලි 23 වන දිනයයි.
එදින සිට දින ගණනාවක් එවකට පැවති රාජ්‍ය පාලනයේ පූර්ණ ආශීර්වාදයෙන් අවුලුවාලූ සිංහල බෞද්ධ ජාතිවාදී ගින්නෙන් කෲර ලෙස මරා දැමුණු දෙමළ ජනයාගේ සංඛ්‍යාව පන්දහස ඉක්මවයි. ලංකාවේ දකුණු ප‍්‍රදේශවල විසිරී ජීවත්වූ එම ජනයා සිංහල ජාතිවාදීන්ගේ ජාත්‍යාලයෙන් කපාකොටා හා පණපිටින් පුලූස්සා මරාදමා, දේපල ගිනිබත් කිරීමෙන් අනතුරුව පලවා හැරියේ දෙමළ ජනයා බහුතරය ජීවත්වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලටය. දෙමළ ජනයාගේ සමානාත්මතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනාගැනීමේ අරගලයේදී නිදහස් දෙමළ රාජ්‍යයක් පිලිබඳව තිබූ අවශ්‍යතාවය 1983 කූප‍්‍රකට කළු ජූලිය විසින් දෙමළ ජනයා තුල දැඩිව තහවුරු කොට ඔසවා තබන ලදි. එතැන් සිට සිදුවූයේ වසර 25 ක් ඉක්මවා 2009 වසර තෙක් දැවැන්ත බිහිසුණු යුද්ධයක් මෙරට ජනයාට අත්විඳින්නටය.
 
දශක තුනක් පුරා දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ සංවිධාන බොහෝ ගණනක් බිහිවූ අතර පසුව එල්ටීටීඊ සංවිධානය එහි ප‍්‍රමුඛත්වය ගනු ලැබීය. එම කාලය මුලූල්ලේ වරින් වර රජයේ ආරක්ෂක අංශ විසින් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගතකිරීම් සිදුකරන ලදි. එසේ සිරගත කළ දේශපාලන රැඳවියන් රජය බාරයේ ඇති බන්ධනාගාර තුල හෝ රැඳවුම් මධ්‍යස්ථාන තුලදී සියයකට ආසන්න පිරිසක් වරින් වර ඝාතනය කර ඇත. එම ඝාතනයන් සියල්ල සිංහල ජාතිවාදී උසිගැන්වීමෙන් රාජ්‍ය අනුග‍්‍රහය මත සිදුව ඇත.
 
1983 ජූලි 23 දෙමළ ජනයා වෙත රාජ්‍ය අනුග‍්‍රහයෙන් ජාතිවාදී ප‍්‍රහාර ආරම්භ වී ජූලි 25 දා වන විට වැලිකඩ බන්ධනාගාරයේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 80 ක් පමණ දෙනා එම ජාතිවාදී ප‍්‍රහාරයට ගොදුරුවී තිබිණි. කැති, මන්නා, පොරොව, යකඩ පොලූ රැගත් සිංහල සිරකරුවන් විසින් එදින මරා දමා තිබුණු දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව 39 දෙනෙකි. නැවත 27 දා එවැනිම ආකාරයට 19 දෙනෙකු ඝාතනය කර තිබිණි.
 
එහිදී ටෙලෝ සංවිධානයේ නායක සෙල්ලරාසා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී මරාදමා තිබුණේ ඔහුගේ ඇස් උගුල්ලා, දිව ද කපා දැමීමෙනි. ඒ ඔහුට අධිකරණයෙන් මරණීය දන්ඩණය දෙන අවස්ථාවේ තමාගේ මරණයෙන් පසු ඇස් දෙක වෙනත් කෙනෙකුට ලබාදෙන ලෙස ඉල්ලා එම ඇස් දෙකෙන් තවත් අයෙකු නිදහස් දෙමළ රාජ්‍යයක බිහිවීම දැකිය යුතු යැයි අධිකරණයේදී කළ ප‍්‍රකාශයක් හේතුවෙන් බව ප‍්‍රචලිතය.
 
ඉන් පසුව 1997 දෙසැම්බර් මස 12 දා කළුතර බන්ධනාගාරයේදී දේශපාලන සිරකරුවන් 03 දෙනෙකු මන්නා, කැති, යකඩ පොලූ රැගත් සිංහල සිරකරුවන් විසින් කපා කොටා ඝාතනය කර තිබේ. එහිදී 137 ක් පමණ සිටි දේශපාලන සිරකරුවන් රඳවා සිටි වාට්ටු තුලට ගොස් අගුලූ ලා ගැනීම හේතුවෙන් ජීවිත බේරී ඇතත්, ඇතුලට පැමිණීමට නොහැකිවූ ආබාධිත රැඳවියකු ඇතුළු තිදෙනෙකු ඊට ගොදුරුවී ඇත. ඒ සඳහා කිසිවෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නැත.
 
2000 වසරේ ජනවාරි 06 දා නැවත කළුතර බන්ධනාගාරයේදී දෙදෙනෙකු ඝාතනය කර ඇත. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ ප‍්‍රහාරයට ලක්වීමෙනි. එහිදී 85 දෙනෙකු තුවාල ලබා ඇත. පහර දී ඇත්තේ අමුත්තන් බැලීමට රැගෙන යාමේදී මාංචු දමා ගෙන යාමට විරුද්ධව සහ අනෙකුත් මූලික පහසුකම් ඉල්ලා උපවාසයකට සූදානම් වීම හේතුවෙනි.
 
2000 ඔක්තෝම්බර් 24 දා බණ්ඩාරවෙල බිඳුණුවැව රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි දේශපාලන සිරකරුවන් 29 දෙනෙකු ඝාතනය කර 50 දෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබුණි. එ් එම රැඳවුම් මධ්‍යස්ථානයේ රැකවල්ලා සිටි හමුදාව කළ මැදිහත්වීම්වලට විරුද්ධවත් දීර්ඝ කාලයක් රඳවාගෙන නීතිමය කටයුතු අවසන් නොකර සිටීමටත් විරෝධය පල කරමින් උපවාසයකට සූදානම් වූ අවස්ථාවකදීය. එම ඝාතන සිදුකරන ලද්දේ අවට ගම්වාසීන් උසිගැන්වීමෙනි. එම අවස්ථාවේ කඩු, පොලූ, මන්නා, පොරව රැගෙන සිය ගණනක් වූ සිංහල ගම්වාසීන් රැඳවුම් මධ්‍යස්ථානයට කඩා වැදී රැඳවියන්ව කපා කොටා ඝාතනය කර තිබිණ. මෙම සිදුවීමට පෙර දින කඳවුර වටා රැකවල්ලා සිටි හමුදාව හේතුවක් නොමැතිව ඉවත් කරගෙන තිබී ඇත.
 
2011 ජූනි 26 දා වව්නියාව බන්ධනාගාරයේ සිටි සියළු රැඳවියන් ඉල්ලීම් ඉල්ලමින් උපවාසයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඔවුන්ව ජූලි 02 දින අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යාමෙන් අනතුරුව එහි සිටි දේශපාලන රැඳවියන් 02 නෙකු ඝාතනය විය. එහි සිටි දේශපාලන රැඳවියන් 34 දෙනා වෙන් කරගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් පොලු මුගුරු වලින් පහරදී 17 දෙනෙකුගේ අතපය කඩා ඔළු පලා බරපතල තුවාල සිදුකර තිබිණි. පහර කෑමෙන් සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවූ නිමලරූබන් ජූලි 04 දිනත් දිල්රුක්ෂන් අගෝස්තු 08 දිනත් මිය ගොස් තිබිණි. උපවාසයට හේතුව වී තිබුනේ බන්ධනාගාරය තුල අවම පහසුකම්වත් සපයන ලෙස ඉල්ලා සිටීම සහ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින දේශපාලන රැඳවියන්ගේ නඩු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා සිටීමයි.
 
2003 වසරේ මැගසින් බන්ධනාගාරය තුලට පැමිණි හමුදාව කළ සෝදිසි කිරීමකදී එයට විරෝධය පෑම හේතුවෙන් හමුදාව විසින් ජාතිවාදී ප‍්‍රකාෂ කරමින් පහර දී ඇත. එසේම 2009 වසරේදී මැගසින් බන්ධනාගාරය තුලත්, 2010 දී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුලත්, 2011 අනුරාධපුර බන්ධනාගාරය තුලත්, 2012 දී මැගසින් බන්ධනාගාරයේදීත් සිංහල රැඳවියන්ගේ බියකරු ප‍්‍රහාරවලට ගොදුරුවී ඇත. එම අවස්ථාවන්හිදී ඝාතන සිදු නොවුනද එම පහරදීම් නිලධාරීන්ගේ අනුග‍්‍රහයෙන් ජාතිවාදී ආකල්ප මත සිංහල සිරකරුවන්ව යොදාගෙන සිදු කළ භීෂණකාරී පහරදීම්ය.
 
රජයේ බාරයේ සිටි දෙමළ දේශපාලන රැඳවියන්ට සිදුකළ මෙවැනි ඝාතන හා පහරදීම් සියල්ල සිදුව ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍ය අධිපති මතවාදයේ ජාතිවාදී වියරුව විසින් හා එහි අනුග‍්‍රහයෙනි. 1983 දී එම ජාතිවාදී ගින්නෙන්, වැලිකඩදී ඝාතන සිදු කරන විට, රට තුල දකුණේ සමාජයට බලපෑ යුදමය තත්ත්වයක් ගොඩනැගී නොතිබිනි. එම කළු ජූලියේ ජාතිවාදී ගිනිදළු මගින් වැඩුනු වසර 30 ක බිහිසුනු යුද්ධයේ ඵල මුළු රටම අත්විඳ ඇත.
 
2009 යුද්ධය අවසන්වී මේ වනවිට වසර 10 කට ආසන්නය. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 108 දෙනෙකු තවමත් සිරගෙවල්තුලය. හමුදාව අත්පත් කරගත් ඉඩම් තවමත් නැවත ලබාදී නැත.
 
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට නිසි පිලිතුරක් නැත. ඔවුන්ගේ අරගලයට පසුගිය සතියේ දින පන්සියය ඉක්මවීය. වැන්දඹු හා දරුවන්ගේ ප‍්‍රශ්න රැකියා ප‍්‍රශ්න සඳහා විසඳුමක් ලබාදී නැත. දෙමළ ජනයාගේ අයිතීන් හා සමානාත්මතාවය සුරැකෙන දේශපාලන විසඳුමක් ලබාදී ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවිතය ශක්තිමත් කිරීමට මෙතෙක් පියවර ගෙන නැත. මෙකී ගැටළු විසඳීම සඳහා බලකෙරෙන හැම අවස්ථාවකදීම සිංහල බෞද්ධ අධිපති මතවාදයේ රාජ්‍ය විසින් ජාතිවාදයේ වියරුව ඉදිරියට ගෙන එමින් සියල්ල යටපත් කරන තත්ත්වයක් මතුව ඇත. ජාතිවාදයේ ගිනි අවුලමින් දේශපාලන බලය සඳහා සූදුවක නිරතවූ ඉතිහාසයේ අගතීන් මෙරට ජනයා හොඳහැටි අත්විඳ ඇත. නැවත එම කළු ඉතිහාසයට රට ගමන් කරවමින් සිටින මේ මොහොතේදී ඉතිහාසයේ කළු පැල්ලම් පිළිබඳව සාකච්ඡාවට ගෙන නැවත අඳුරු ඉතිහාසයට ගමන් නොකිරීමට රජයට බල කිරීම ප‍්‍රගතිශීලී සියළු ජනයාගේ වගකීමකි.
 
◾ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ❗
◾බන්ධනාගාර තුල රජය බාරයේ සිටි දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පූර්ණ බලැති කොමිසමක් පත්කරනු ❗
◾බන්ධනාගාර තුල දී මරා දැමුණු සහ තුවාල ලැබූ දේශපාලන රැුඳවියන්ගේ පවුල් වලට වන්දි ලබාදෙනු ❗
◾දෙමළ ජනයාගේ අයිතීන් හා සමානාත්මතාවය සුරැකෙන දේශපාලන විසඳුමක් ලබාදෙනු ❗
 
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය