ඔබ රූ සිරියෙන්

ඔබ රූ සිරියෙන්

20 September 2021 12:00 am


ගී ඇසුර 04 

 

එඩ්වඩ් ජයකොඩි 1973දී රජයේ සංගීත විද්‍යාල​යේ ශිෂ්‍යයෙකු විදිහට එද්දී එහි සංගීත අංශයේ ප්‍රධානියා වුණේ පණ්ඩිත් අමරදේවයි. නැටුම් අංශයේ පණීභාරතත් චිත්‍ර හා මූර්ති අංශයේ මහගමසේකරත් මුලසුන් ගෙන හිටියා.

ඒ වෙනකොටත් රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් වීජේසේකර, බන්දුල විජේවීර, ආනන්ද වීරසිරි, මාලනී බුලත්සිංහල සහ ස්වර්ණලතා කවීශ්වර වැනි අයත් එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්.

ඒ අය අධ්‍යයන කටයුතුවලට අමතරව එවකට ලංකා ගුවන් විදුලියේ (CBC) පටිගත කීරීම්වලට යනවා. චිත්‍රපට පටිගත කිරීම්වලටත් සහභාගි වෙනව. තවත් විටෙක වික්ටර් රත්නායකගෙ “ස” ප්‍රසංගයේ අත්වැල් ගායනයටත් ඉන්නව. 

ඉතින්, එඩ්වඩ්ට ඉරිසියාවෙ බැහැ.

ඔය අතරෙ සංගීත අංශාධිපති අමරදේවට ආරංචි වෙනවා පළමු වසරෙ සිසුන් අතර “දක්ෂ කොල්ලෙක්” ඉන්න වග. ඒ තමයි එඩ්වඩ්.

ඔහුට පණිවිඩයක් ලැබෙනවා මුල් ගුරුතුමාගෙන් ගුවන් විදුලියෙ පටිගත කිරීමකට එන්න කියල. එඩ්වඩ් ගුවන්විදුලියට ගියාම දකිනව අර ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසත් අත්වැල් ගායනයට ඇවිත්. ඒ කියන්නෙ රෝහණ, ලක්‍ෂමන්, ආනන්ද, මාලනී, බන්දුල වාගෙ අය. එදා එඩ්වඩ් හා හා පුරා කියල සහභාගි වෙනව අමරදේවයන්ගෙ පටිගත කිරීමක අත්වැල් ගායනාවකට.

“වැසි වසිනා අහස අපී
මුතු බඳිනා මුහුද අපී...”  

ගීතය ලියල තිබුණෙ මහගමසේකර.

ඔය සිද්ධියෙන් පස්සෙ අමරදේව ගුරුතුමාට වඩාත් ළං වෙන්න එඩ්වඩ්ට අවකාශ සැලසෙනවා. රජයේ සංගීත විද්‍යාල​යේ ඉඳන් එතුමා ගමනක් යන්න ලක ලෑස්ති වෙද්දි  එඩ්වඩුත් ගේට්ටුව ළග හොර ගල් අහුලනවා. එතකොට අමරදේව ගුරුතුමා එඩ්වඩ්ව දකිනවා.

“මොකද කරන්නෙ?”

“නිකන් ඉන්නවා සර්”

“හා, එහෙනං නගින්න කාර් එකට...”
වැඩක් තිබ්බත් නැතත් එඩ්වඩ් කියන්නෙ නිකන් ඉන්නවා කියල තමයි. එතකොටනෙ එක්ක යන්නෙ.

ඉතින් අමරදේව ගුරුතුමා යනව ඔහුගෙ පුතා රංජනව එක්ක එන්න ඉස්කෝලෙට. එඩ්වඩුත් බොහොම උනන්දුවෙන් බැහැල ගිහින් ඔහු රැගෙන එනවා. තවත් දවසක ගුරුතුමා යනව මේ ගෝලයත් අරගෙන තෝසෙ කන්න. දැන් දෙන්න බොහොම කුළුපගයි.

ඔය කාලෙ ගුවන්විදුලියෙ වැඩ කරපු මඩවල රත්නායකගෙ “ස්වර වර්ණ” වැඩ සටහනෙ ගී ගැයුවෙ පණ්ඩිත් අමරදේව. එඩ්වඩ්ලත් යනව සමූහ ගායනයට. ඒ පටිගත කිරීම් වලදි ස්වර ප්‍රස්තාර ලිව්වෙ කාබන් කොලේ තියල. ඒව වාද්‍ය ශිල්පීන්ට බෙදල දෙන්න, සර්ගෙ සර්පිනාව උස්සන් යන්න එඩ්වඩ් සහභාගි වෙන්නෙ හරිම උද්‍යෝගයෙන්. රෝහණ, ලක්‍ෂමන්, මාලනී, ආනන්ද එහෙමත් ඔය පටිගත කිරීම්වල ඉන්නව.

“ස්වර වර්ණ” වලට අමරදේව සංගීතවේදයා ඇතැම් තනු හදන්නෙ එතැනට ඇවිත්. සිංදු හතක් අටක් හදල වෙහෙස වුණාම “අදට ඇති මඩේ” කියල මඩවල රත්නායකට කියනව.

එක දවසක් ඔහු තනුවක් හදද්දි එඩ්වඩ් සිය ගුරුතුමාගේ පසුපසට වෙලා ස්වර ප්‍රස්තාර දිහා බලන් ඒ ගීය මුමුණමින් හිටිය. තනුව නිමවූ සැණින් අමරදේව ගුරුතුමා එඩ්වඩ් වෙත ගීතය දිගු කළා.

“ආ, මේක එඩ්වඩ්ම කියන්නකො. මං අහන් හිටියෙ මුමුණන විදිහ. හරිම අගෙයි” 

“ඉතින් මේක සර්ගෙ ප්‍රෝග්‍රැම් එකනෙ”

“මං ඒක බලාගන්නම්කො”

අමරදේවයන්ගෙ මග පෙන්වීම අනුව එඩ්වඩ් ගීයට හඬ මුසුකළා.

“ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකළෙමි අනුවණකම්...”

ගීතය ලියල තිබුණෙ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයි. ඒක එඩ්වඩ්ට  ලොතරැයියක් ඇදුණ වගේ වැඩක්. සාමාන්‍යයෙන් පණ්ඩිත් අමරදේව තමන්ගෙම ගීයක් තවත් කෙනෙකු වෙත පරිත්‍යාග කළ අවස්ථාවක් අපි නොදන්න තරම්.

මේක එහෙම විරල අවස්ථාවක්. ඔය සිද්ධිය වුණේ 1977 විතර.

- නිලාර් එන්. කාසිම්