චින්න චින්න ආසෛ 14 - ලොක් වුණාද සතුට නැති වුණාද යතුර

චින්න චින්න ආසෛ 14 - ලොක් වුණාද සතුට නැති වුණාද යතුර

25 July 2021 12:25 pm

``සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ - මේ අඳුරින් මිදීල ඉගිලී යයි කුරුල්ලෝ`` කියල ගැයුවෙ ග්‍රේෂන් ආනන්ද. ලිව්වේ හේමසිරි හල්පිට. සින්දුව හැදුවේ සරත් ද අල්විස්. ඒ `ජය අපටයි` චිත්‍රපටියේ. රඟපෑවේ ජීවනුයි විජෙයි. ඒ සින්දුවේ ජීවන් කිහිලිකරුවකින් ඉන්නේ. බෙලෙක් පිඟානකට ගගහ සින්දුව කියන්නේ. විජේ හිරෙන් පැන්නා. අඳුරින් මිදිලා ඉගිල්ලුනා. ප්‍රේක්ෂකයෝ විසිල් ගැහුවා. දේශපාලනයත් එක විදිහක සතුටක්. විජේගෙ දේශපාලන සතුටයි විජේවීරගෙ දේශපාලන සතුටයි දෙකක්. ජේ ආර්ගේ ප්‍රේමදාසගේ දේශපාලන සතුට තවත් එකක්. ඒ දේශපාලන සතුටු යුද්ධය මැද විජේ භෞතිකව මියගියා. 

ඒ විජේම ගයන ලස්සන සින්දුවක් තියෙනවා, `බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන` කියල. ඒකෙත් සතුට ගැන කතා කරනවා. ඒකෙ මුලින් කියනවා ``යුගෙන් යුගය සතුට සැපත සොය සොයා - මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා`` කියල. හැබැයි ඊළඟට කියනව මෙහෙම. ``කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ - එදා හොඳද මෙදා හොඳද දකිනු දන්නෙ නෑ -  සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ - සොයන්න මොටද නොතිර ලොවක රහස`` කියල. ලියුම්කරුට තේරෙන විදිහට උපාලි අත්තනායක ඒ ලියල තියෙන්නෙ `සතුට සාපේක්ෂයි` කියල. 

දේවානන්ද වෛද්‍යසේකර කියන්නේ ``සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි`` කියල.  ``සතුට ශෝකේ ජය පරාජේ අපටමයි මේ ලෝකයේ`` කියල ලතා වල්පොල ගයනකොට, ලතා දිසානායක ``සතුට සැනසුම් සුවේ බලා`` ඈත අහසේ පියාඹන්න එන්න කුරුලනි කියල ආරාධනා කරනවා. ``මැනලාද සතුට මට දෙන්නේ`` කියල දිවුල්ගනේ ඇහුවට ක්ලැරන්ස් කියන්නේ ``මගේ සතුට ඔබ මිස නැත වෙන`` කියලා. මේ ඔක්කොටම වඩා වෙනස් කොමියුනිස්ට් තැනක ඉඳන් ජෝති කියනව ``ඔබෙ සැප මගෙ සතුටයි`` කියල. 

සතුටයි ප්‍රීතියයි භාෂාවේදී එකක් වුණාට ෆාමසියේදී දෙකක්. ඒ දෙකම ශෝක නොවී සතුටු වෙන්න හදල තියෙන කොන්ඩම් දෙකක්. උපත් පාලන කොපුවකට `ප්‍රීති` කියල නම දැම්මේ චින්තන ජයසේන මහත්තයලු. සුදුසු නමක් දෙන්න කියල චින්තන මහත්තයගෙන් ඇහුවම, ඔහු පෙරළා ඇහුවලු ``ලිංගිකව එකතුවෙන දෙන්නගෙ ප්‍රීතියට ඕකෙන් බාධාවක් වෙනවද`` කියලා. එහෙම නැහැයි කිව්වම, ``ආ එහෙනං ඕකේ නම ප්‍රීති`` කිව්වලු. සතුට එන්න ඇත්තෙත් ප්‍රීති පාරේම තමයි. ලිංගික සතුට ලස්සනයි. හැබැයි බලහත්කාරය අපහරණය කැතයි. 

සතුට ලොක් වුණා යතුර නැති වුණා. එහෙම ගහල තිබ්බෙ ත්‍රී වීල් එකක. එක්කෝ සතුට යම්තැනක ලොක් වෙලා නිසා සතුටට ළංවෙන්න බැහැ. ඒ කියන්නෙ සදා දුක. එහෙම නැත්නම් සතුට ලොක්වුණේ  තමනුත් ඉන්න තැනක වෙන්න ඕන. එතකොට සදා සතුට. අවුරුදු දෙදහස් පන්සියයකට කලින් බුදු හාමුදුරුවෝ කිව්වා සතුට තමයි ලොකුම ධනය කියලා. හිතේ සතුට නැත්නම් කොච්චර සල්ලි තිබ්බත් මොකටද ? හැබැයි ඉතින් දුප්පත් පොහොසත් කියල බෙදිච්ච ලෝකෙක, දුප්පත්කම විශේෂ සතුටක් නං නෙමෙයි. 

ලියුම්කරුට ඕකෙ දෙපැත්තක් පේනවා. දුප්පතුන්ට සල්ලි ඕන. තවත් විදිහකට කිව්වොත් සතුටේ මූලික පදනම විඳින්න අවශ්‍ය පරිසරය තියෙන්න ඕන. තුන්වේල කන්න නැති මිනිස්සුන්ට ``සන්තුට්ඨි පරමං ධනං`` විතරක් මදි. හැබැයි, එක මොහොතක, `ප්‍රබුද්ධ`හි, සේකර අහපු ප්‍රශ්නේ මතුවෙනවා. ``බතක් – වතක් – ගෙයක් – දොරක් ලද පමණින් රස්සාවක් ලද පමණින් විමුක්තියක් ලැබිය හැකි ද?`` ඉතින් එහෙමනම්... සතුට තියෙන්නේ කොහෙද ? මුළු මහත් මානව පරිණාමයේ චාරිකාව පුරා, මිනිසා එය හොයනවා. 

අපට සමහරවිට පේනවා තමන් කරන රස්සාව අකමැත්තෙන් කරන මිනිස්සු. හදාගෙන ආව ප්ලේන්ටිය තරහට වගේ මේසෙ උඩ දමල ගහල යන හෝටල් සේවකයෝ, මගීන්ගෙන් පළිගන්න වගේ හැසිරෙන ප්‍රවාහන සේවකයෝ, ජනයා රස්තියාදු කරවීම ආස්වාදයක් කරගත්ත රාජ්‍ය සේවකයෝ ආදී, මෙකී නොකී සේවාවන් බොහොමයක සේවය ශෝකය කරගත්ත සේවකයෝ සමාජයේදී මුණගැහෙන්නේ තමන් ඉන්න සේවය තමන්ට ප්‍රීතියක් නොවන නිසයි. තමන් සතුටු නොවන දෙයකින් අනුන් සතුටු කරන්නෙ කොහොමද ? තමනුත් සතුටුවෙලා අනුනුත් සතුටු කරන සේවකයෝ ගොඩක් ඉන්නවා. 

තමන් ආස අහසක ඉගිල්ලෙන්න නොහැකි වෙන එකෙන් සතුට ඈතට පළා යනවා. එක එක්කෙනා ආස එක එක දිහාවට පියාඹන්න. දරුවන් ආස මාවත හොයාගන්න තමයි අධ්‍යාපනය තියෙන්නේ. අනෙකාට බාධාවක් නොවන ලෙස - සමාජයට අවැඩක් නොවන ලෙස මිනිස් ආශාවන් කළමනාකරණය කරන එක තමයි ලෝකය ඉස්සරහ තියෙන වික්‍රමය. සමාජ සතුට හදන එක සාමුහික වැඩක්. ඒ අතර, සාමුහිකය තුළ තනි තනිව කරන්නත් වැඩක් තියෙනව. කාටවත් කරදරයක් නොකර තමන් ආස දේ කරන්න. එතකොට, සතුට ලොක් වුණත් යතුර නැතිවෙන්නෙ නෑ. යතුර ඔබේ හදවතේ.  


විමල් කැටිපෙආරච්චි
2021 ජූලි 25