මංගල නැකතේ

මංගල නැකතේ

30 August 2021 12:01 am

ගී ඇසුර 01 

සේන සමරසිංහව අපි දන්නෙ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් විදිහට. ඔහු හෙළ සිනමාව කර්මාන්තයක් හැටියට සාර්ථක කරගන්නට දායක වූ සිනමාකරුවන් කීපදෙනාගෙන් කෙනෙක්. සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුළු, ආශා දෑසින්, චංචල රේඛා සහ ඈතින් ඈතට ඇතුළු චිත්‍රපට පෙළක් අපට තිළිණ කළා.

ඔහු ගීත රචකයෙකු හැටියටත් යම් ලකුණක් තැබූ බව දන්නේ ටික දෙනයි. ඇත්තෙන්ම කියනව නම් ඔහු ලියූ ගීත සංඛ්‍යාව දහයක්වත් නැති තරම්. සේන පාකිස්ථානය සමඟ එක්ව නිපැයූ “බඹර කලාපේ” චිත්‍රපටයේ සියලු ගී පද රචනා කළෙත් ඔහුමයි.

ඒ වුණාට වඩාත් ජනප්‍රිය වුණේ සරල ගීයක් හැටියට චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ මංගල නැකතේ ගීතයයි.

ඔය ගීතය පටිගත කළේ සේන සමරසිංහම නිපැයූ “මංගල නැකත” කැසට් පටය වෙනුවෙන්. අපේ ජනප්‍රිය නිළි ශ්‍රියානි අමරසේනත් ඔය නිපැයුමට දායක වුණා. දෙන්නගෙම නම්වල මුලකුරු එකතු කරල “සේසිරි” කියන සන්නාමයෙන් තමයි කැසට්පටය වෙළෙඳ පොළට ආවෙ.

තරුණ සේවා සභාවෙන් බිහිවූ ගායිකාවක ලෙස ජනප්‍රිය වූ චන්ද්‍රලේඛා, ඩී.බී. නිහාල්සිංහයන්ගේ “රේඛා” ටෙලි නාට්‍යයෙන් තවත් ජනප්‍රිය වුණා. ඇගේ ගී එකතුවකට ආයෝජනය කරන්නට පෙළඹුණේ “දැල්වූ පහන්” වගේ ගීතවලට සේන සමරසිංහයන්ගෙ තිබුණු ඇල්ම නිසා. මේ කටයුත්ත ගැන නිහාල්සිංහයන්ගෙනුත් විමසීමක් කළාම සේනගෙ අදහස ඔහුත් තහවුරු කරල තිබුණා. 

ඊට පස්සෙ සේන සමරසිංහයන්ගේ රඹුක්කන ගෙදර තිබූ සාදයකදි තමයි මුලින්ම චන්ද්‍රලේඛා ඔහුට හමුවන්නෙ.

“මංගල නැකතේ” ගීතය ලියන්නට සේන සමරසිංහට ප්‍රස්තුත වෙන්නේ තමන්ගෙම අත්දැකීමක්. සිය පියා හෘදයාබාදයකින් මිය යන්නේ යන්තම් ඔහු 21 වෙනි වියට පා තබනවාත් එක්කමයි. ඒ වෙනකොට සේන ව්‍යාපාර කටයුතු පටන් ගත්ත විතරයි. නංගිල දෙන්නයි මල්ලිල දෙන්නයි එතකොටත් පාසල් යනවා. ඔහු මුහුණ දෙන්නෙ බරපතල අභියෝගයකට. ඊට පස්සෙ සේන තමයි මේ හතර දෙනාටම තාත්ත වෙන්නේ. ඒ අයට උගන්නලා කියල ආවාහ විවාහ කටයුතු කරල දීල සියලු වගකීම් ඉටු කරන්නේ මේ ආදරණීය අයියා.

තමන්ගෙ චූටි නංගි විවාහ කරල දෙන දවසෙ ඔහුට දැනුණූ සංවේදී හැඟීම තමයි මේ ගීතය තුළ පෙළගස්සන්නෙ. සංගීතවත් කළේ සරත් දසනායක.

තවත් දෙයක්, සේනගෙ චූටි නංගි විවාහ වුණෙ පියසේන ද සිල්වා එක්ක. ඔහු තමා ඈතින් ඈතට චිත්‍රපටයේ නිෂ්පාදක. ඒ වගේම නිල්ල සොයා වල ඉදල සේනගෙ චිත්‍රපට රැසක හවුල්කරු.

මංගල නැකතේ අතිශයින්ම ජනප්‍රිය වූ නිසා “මංගල නැකත 2 - සුදු දුව” කැසට් පටයත් කරනව. චන්ද්‍රලේඛා ගැයූ ඔය සුදු දුව ගීතයත් සේන සමරසිංහයන්ගෙම රචනයක්.

- නිලාර් එන්. කාසිම්