හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

හඳුන්නෙත්ති මොකද කළේ? බැඳුම්කරේ ජරමරේ - සීරුවට දිග හැරේ - 8 කොටස

9 August 2020 01:42 pm

මේ ලිපි මාලාවේ 7 වන කොටසින් අප පැහැදිලි කළ ආකාරයට අවසානයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, සිය දේශපාලන අකල් මරණයෙන් ගැළවෙන්නේ ඩී.ඊ.ඩබ්. ගුණසේකර කෝප් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. 

නමුත් නැග එන විපක්ෂයේ විරෝධය නිසාම ඔවුන්ට තවත් කෝප් කමිටුවකට යාමට සිදුවිය. එම දෙවැනි කෝප් කමිටුව ස්ථාපිත කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙනි. 

යහපාලන ආණ්ඩුව, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමෙන් ලකුණු දමාගන්නට උත්සාහ කළේය. එය යහපාලනයට කැපවීමක් ලෙස ඔවුන් හුවා දැක්වීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබිණි. ‘‘ඔබතුමා ගරු අගමැතිතුමාට නිග්‍රහ කරන්න එපා‘‘ යැයිද එවකට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල බැඳුම්කරය ගැන ප්‍රශ්නයකදී පාර්ලිමේන්තුවේදී පසුව ආවේගයෙන් කෑ ගැසුවේය. 

කෝප් කමිටුවේ සෙසු සාමාජිකයන් 25 දෙනා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රංජන් රාමනායක, අශෝක් අබේසිංහ, අනුර දිසානායක, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, බිමල් රත්නායක, වීරකුමාර දිසානායක, මාවයි සේනාධිරාජා, අබ්දුල්ලා මහ්රුෆ්, එස්. ශ්‍රීධරන්, එම්.ඒ. සුමන්දිරන්, හෙක්ටර් අප්පුහාමි, නලින්ද ජයතිස්ස, හර්ෂණ රාජකරුණා සහ ඥානමුත්තු ශ්‍රීනේසන් ය.

එක්සත් ජාතික පක්ෂයේ වේළුකුමාර මන්ත්‍රීවරයා ඉවත් කර සුජීව සේනසිංහ ව රනිල් වික්‍රමසිංහ විසින් ලහි ලහියේ කෝප් කමිටුවට එවා තිබිණි. එසේ කරන්නේම ‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ කිළිටි සෝදන්නට‘ යැයි මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය. 

දෙවැනි කෝප් කමිටුව මාස 14කට ආසන්න කාලයක් තිස්සේ සාක්ෂි සටහන් කිරීම සහ සාක්ෂි විමසා බැලීම සිදු කළහ. මහබැංකු නිලධාරීන් මෙන්ම විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රශ්න කෙරිණි. 

සාක්ෂි සටහන් කර ගැනීම සඳහා කෝප් කමිටුවට කැඳවූ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සුජීව සේනසිංහ විසින් බිය වැද්දවූ බව ද සඳහන් විය. නමුත් මහබැංකුවේ නිලධාරීන් ඉතාම සංයමයෙන් යුතුව එම අභියෝගයට මුහුණ දීමට සමත් ව තිබිණි.

පෙර පරිදිම මෙහිදී ද කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආසන්න වෙත්ම කෝප් කමිටුවේ සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු බහුතරයක් යකා නැටීමට පටන් ගත්හ. ඔවුන්ට අවශ්‍යව තිබුණේ සිය පක්ෂය සහ එහි නායකත්වය මේ භයානක වංචාවේ දෝෂාරෝපණයෙන් ගළවා ගැනීමට ය. 

විගණකාධිපතිවරයා විසින් 2015 පෙබරවාරි 27 දා සිදුවූ මහා බැඳුම්කර වංචාව පිළිබඳ නිවැරදි වෝහාරික වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව කමිටුව ඉදිරියේ හෙළි වූ අතර, එමගින් සමස්ත ජවනිකාවේම වරදකරු බවට මහබැංකු අධිපති මහේන්ද්‍රන් පත්ව එයින් තිබිණි.

කෝප් කමිටුව වෙත උපරිම පීඩනය එල්ල කරමින් එහි සොයාගැනීම් විකෘති කිරීමේ මහා යූ.එන්.පී. මෙහෙයුම මේ අනුව ඇරඹී තිබිණි.

‘ෆුට්නෝට් කල්ලිය‘ බිහිවන්නේ ඒ අයුරිනි. 

‘ෆුට්නෝට් කල්ලි‘යේ නාඩගම

දෙවන කෝප් කමිටුවේදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායකත්වය දැරුවේ අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ විසිනි. මේ අතරින් ද සුජීව සේනසිංහගේ ‘රෙදි ඇපිල්ලීමේ රටාව‘ සුවිශේෂී හෙයින් මේ ලිපි මාලාවේ මීළඟ ලිපිය වෙන්වන්නේ සුජීව සේනසිංහ වෙනුවෙනි. 

දෙවැනි කෝප් කමිටුවේ නාටකය තීරණාත්මක තැනකට යා වන්නේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පමණක් අවසන් වාර්තාවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ය. ඔවුන්ට වෙනත්, විසම්මුතික වාර්තාවක් සභාගත කිරීමට අවශ්‍ය වී තිබිණි. 

එක් අවස්ථාවක මේ පීඩනය, කෝලාහලය සහ අප්‍රියජනක කත් ඇදීම ට විරෝධය පාමින් සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවෙන් නැගිට ගියේය. 

ඒ වහාම එජාප කණ්ඩායම කළේ අබ්දුල්ලා මහරූෆ් නම් වන සිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ව කෝප් කමිටුවේ ‘අතුරු‘ සභාපතිවරයා ලෙස නම් කිරීමයි!

නමුත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව අතුරු සභාපතිවරයෙකු පත් කිරීම හෝ විසම්මුතික වාර්තා ඉදිරිපත් කිරීම කළ නොහැකි බවත්, ඒ අනුව මෙම තීරණවල කිසිදු නීතිමය බලපෑමක් නැති බවත් ඔවුන් දැනගත්තේ පසුව ය. ඒ නිසා ඔවුන්ට යම් තාක් දුරකට පසුබා යන්නට සිදුවිය. 

මේ අවස්ථාවේදී කළ යුත්තේ කුමක්දැයි සමහර යූඑන්පී කෝප් මන්ත්‍රීවරුන් නීති උපදෙස් ද ගෙන තිබේ!

තමන්ගේ විසම්මුතික අදහස්, ‘පාද සටහන්‘ (ෆුට්නෝට්ස්) ලෙස වාර්තාවට ඇතුළත් කිරීමට ඔවුන් තීරණය කරන්නේ ඉන් පසුව ය. 

සමහර විට ඔවුන් මෙය කළේ අනාගත පාවිච්චිය සඳහා මෙන්ම අනාගතයේ ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයන්ගෙන් වරදකරුවන්ට පළා යාමට මාර්ග සකස් කර දීම සඳහා ද විය හැකිය. විසම්මුතික වාර්තාවක් සභාගත කළ නොහැකි නිසාම හඳුන්නෙත්ති, වාර්තාවේ නිවැරදි සොයාගැනීම් විකෘති කරන සහ එහි බර හෑල්ලු කරන පාද සටහන්වලට ඉඩ දීමට එකඟ විය.  

එක්සත් ජාතික පක්ෂයේ මේ පාද සටහන් මගඩියෙන් බේරීමට සමත් වූයේ රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණි. සියල්ලන්ම දැන සිටි අන්දමට මේ කාලය වන විට රන්ජන් රාමනායක සිටියේ අගමැති රනිල් සමග හිත හොඳින් නොවේ. කෝප් කමිටු සාමාජිකයන් 26 දෙනා අතරින් ඔහු පමණක් මෙයට අත්සන් නොකළේය. එයට හේතු ලෙස ඔහු පැවසුවේ තමන් විදේශ ගතව සිට ලංකාවට පැමිණියේ පෙර දිනයේ බවත්, අවසන් කෙටුම්පත විශ්ලේෂණයට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු නිසා අත්සන් නොකරන බවත් ය. 

කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය. එහිදී කරුණු පැහැදිලි කළ ඔහු පැවසුවේ, කෝප් කමිටුව විසින් තනි වාර්තාවක් ඉදිරිපත් කර තිබුණද, එය එකිනෙකින් වෙන් වූ වාර්තා 2 ක් ලෙස කියැවීම අවශ්‍ය වන බවයි. එනම්, පාද සටහන් නොමැති ප්‍රධාන වාර්තාව සහ පාද සටහන් සහිත (යූ.එන්.පී. ෆුට්නෝට් කල්ලිය විසින් කරුණු විකෘති කළ) කෝප් වාර්තාවයි. පළමු වාර්තාවට අත්සන් 16 ක් තිබිණි. දෙවැනි වාර්තාවේ අත්සන් 6 ක් තිබිණි. ඒ, ෆුට්නෝට් කල්ලියේ 6 දෙනාගේ අත්සන් ය. මේ අනුව, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් (රන්ජන් රාමනායක හැර) සාමූහික ලෙස පාද සටහන් යෙදීම මගින් පෙනී යන්නේ ඔවුන්ගේ ස්ථාවරය කොතරම් දේශපාලනීකරණය වී තිබිණි ද යන්නයි. 

2016 ඔක්තෝබර් 26 දා වන විට අවසන් වාර්තාවේ ඉංග්‍රීසි හා දෙමළ පරිවර්තන සූදානම් වී තිබුණේ නැත. නමුත් පිටු 65 කින් සහ ඇමුණුම් 25 කින් යුක්ත, සිංහල බසින් පැවති අවසන් වාර්තාව හඳුන්නෙත්ති සභාගත කළේය. 

දෙවැනි කෝප් කමිටුව සාර්ථකද?

ෆුට්නෝට් යෙදීමෙන් කළ විකෘතිය පසෙක තැබුවත්, පසුව පෙනී ගියේ, මෙම ‘හඳුන්නෙත්ති වාර්තාවේ‘ ප්‍රධාන සොයාගැනීම් ගමන් කරන්නේ මීට පෙර කෙටුම්පත් කළ සහ කිසිදා සභාගත නොකළ ඩී.ඊ.ඩබ්. කමිටු වාර්තාවේ සොයාගැනීම්වලට වඩා මද දුරක් පමණක් විය. වැදගත් කරුණු ගණනාවක් සොයාගැනීමට ඔවුන් අසමත් ව තිබුණේ සංවිධානාත්මක දේශපාලන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ය. 

එනම්, ‘2015 පෙබරවාරි 27 දා බැඳුම්කර නිකුතුව සිදුකරන විට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එයට මැදිහත් වීමක් සහ බලපෑමක් සිදුකර ඇති බවට කමිටුව ඉදිරියේ වන සාක්ෂි හෝ සාධක මගින් සාධාරණ සැකයක් ඇති කරන බව පෙනේ‘ යනුවෙන් හඳුන්නෙත්ති වාර්තාවේ සඳහන් වේ. නමුත් ගුණසේකර කමිටු වාර්තාව මගින්, මාමා සහ බෑණා අතර ‘ඒකපාර්ශවික ගනුදෙනුවක්‘ සිදුවූ බවට නිර්භය ලෙස නිගමනය කර තිබිණි. කෙසේ වෙතත් රජයට සහ මහජනතාවට සිදුවූ හානි හෝ පාඩු, වගකිව යුත්තන්ගෙන් අය කර ගත යුතු බවට කමිටුව යෝජනා කර තිබිණි.    

කෙසේ නමුත් මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මහබැංකු අධිපති මහේන්ද්‍රන් සෘජුව වගකිව යුතු බවත් බැඳුම්කර වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව මාධ්‍ය හමුවකදී පැවසීමට තරම් කෝප් සභාපති හඳුන්නෙත්ති නිර්භීත විය.  
 
2017 නොවැම්බර් 17 වැනිදා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙසේ කියයි. 

‘‘යහපාලනයේ රෙදි ගැළවිලා ඉවරයි දැන්.. ඔය බැඳුම්කර වාර්තාව විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව පාර්ලිමේන්තුවෙදි කතා කරනකොට ඔය කතා කරන කී දෙනෙක් කිව්වද විගණකාධිපතිවරයට බලතල නෑ, මේක කරන්න බෑ කියලා..? විගණකාධිපතිතුමාට ඉල්ලා අස්කරගන්න කිව්වා.. තේරෙන්නෙ නැත්නම් නැගිටල යන්න කිව්වා.. කියන දේ දන්නෑ කිව්වා. බලනකොට එහෙම කිව්ව හුඟක් අය කෝප් කමිටුවෙදි අවසානෙ උපදෙස් අරගෙන තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉඳන් කතා කරලා අර්ජුන ඇලෝසියස්ගෙන්... ඒ නිසා මොනවද ඒ කතා කළේ කියලා හැන්සාඩ් වාර්තාගත වෙන විදිහට ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න... මෙවැනි කුමන්ත්‍රණ තිබියදීත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ලැබීම ජයග්‍රහණයක්, ගෞරවයක්..‘‘

 

එය සත්‍යයකි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ ‘කැත පීඩනය‘ හමුවේ එහි සිටියේ හඳුන්නෙත්ති නොව වෙනත් මන්ත්‍රීවරයෙකු වූයේ නම් දෙවැනි කෝප් කමිටුවේ වාර්තාව, එනම් පාර්ලිමේන්තුවේ සභාගත කළ එකම කෝප් කමිටුවේ වාර්තාව සහමුලින්ම පුස්සක් වන්නට ඉඩ තිබිණි. එය රනිල් වික්‍රමසිංහට, සුජීව සේනසිංහට සහ අර්ජුන මහේන්ද්‍රන්ට අවශ්‍ය පරිදි ලියැවෙන්නට ඉඩ තිබිණි. 

කෙසේ නමුත් කුමක් හෝ අහේතුවකට 2020 මහ මැතිවරණයෙන් සුනිල් හඳුන්නෙත්ති පරාජය වී ඇත. දෛවයේ සරදමකට මෙන් මේ කතාංගයේ සෙසු අතරින් බහුතරය වන රනිල් වික්‍රමසිංහ, සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා යන අය ද මෙවර මහමැතිවරණයෙන් පරාජය වී සිටිති. 

මේ අය අතරින්, අධික බලලෝභය හමුවේ රනිල් වික්‍රමසිංහ ජන මතයට පයින් ගසමින් නැවත වරක් පාර්ලිමේන්තු එනවා ඇත. මේ තීරුලිපි රචකයාගේ මතය වන්නේ පරාජය වූ හඳුන්නෙත්ති මෙන්ම කෝප් කමිටුවේ සිටි සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා වැනි අය ද එක දවසකට හෝ පාර්ලිමේන්තුවට පැමිණ, බැඳුම්කර වංචාව ගැන විවාදයකට සහභාගි විය යුතු බවයි. මන්ද යත්, 2015 පෙබරවාරි 27 දා මහබැංකුවේ මහේන්ද්‍රන් නැටූ නාඩගම විෂය දැනුම සමග විග්‍රහ කළ හැකි හොඳම පුද්ගලයා වන හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද මෙවර පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටින බැවිනි. 

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වූ ෆුට්නෝට් කල්ලියට අපි මෙහිදී අභියෝගයක් කරමු. බොරු අඬහැර, කෑ කොස්සන් ගැසීම් පසෙක තබා හැකි නම් අලුත් පාර්ලිමේන්තුවේදී බැඳුම්කර වංචාව සහ එය වසං කිරීම ගැන, විෂයානුබද්ධ ලෙස කබ්රාල් සමග කතා කර දිනන්න!

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
 
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

රනිල් වික්‍රමසිංහ අකල් මරණයෙන් බේරුණු හැටි - බැඳුම්කර ජරමරයේ 7 වන දිගහැරුම