කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

කැකිල්ලේ ක්‍රමයේ නීතීඥ කමිටුව සමග බැඳුම්කරේ ජරමරේ - 6 වන දිගහැරුම

3 August 2020 01:28 am

ජනපති මෛත්‍රිපාල සිරිසේන, බැඳුම්කර වංචාව ගැන ක්‍රියාත්මක වීමට පෙර (එනම්, ජනාධිපති කොමිසම පත් කිරීමට පෙර) අගමැති රනිල් වික්‍රමසිංහ ඒ ගැන වහාම ක්‍රියාත්මක විය. ඔහු ‘ත්‍රිපුද්ගල නීතීඥ කමිටුවක්‘ පත් කළේය. එය හැඳින්වුණේ ‘පිලපිටිය කමිටුව‘ යනුවෙනි. 

2015 මාර්තු 10 දා නීතීඥ ගාමිණී පිලපිටිය, නීතීඥ මහේෂ් කළුගම්පිටිය සහ නීතීඥ චන්දිමාල් මෙන්ඩිස් මතභේදාත්මක බැඳුම්කර ප්‍රශ්නය ‘පරීක්ෂා කිරීම‘ සඳහා ය.

නමුත් එමගින් අගමැතිවරයා අරමුණු කළ එකම දෙය, කෙසේ හෝ වංචාව වසං කිරීම සහ, එයට සුදුහුණු ගෑම බව වැඩි කල් නොගොස්ම වැටහෙන තැනට වැඩ සිද්ධ විය. 

එක්සත් ජාතික පක්ෂය සමග දැඩි සබඳකම් දැක්වූ එම නීතීඥයන් තුන්කට්ටුව අගමැතිවරයා විසින් ඉතාම ප්‍රවේශමෙන් තෝරාගෙන තිබූ බවට සැකයක් නැත.

මෙම දේශපාලන සමීපභාවය පිළිබඳ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඊ.ඩබ්ලිව් ගුණසේකරගේ ‘ලීක් වූ වාර්තාව‘ මෙසේ සඳහන් කරයි.‘‘පිලපිටිය කමිටුව නමින් දන්නා කමිටුව (නීතීඥ කමිටුව)ට, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී යම්කිසි අවිධිමත්භාවයක් හෝ අසමානුපාතිකභාවයක් වී නම් ඒවා විශ්වාසනීයත්වයෙන් සහ අවංකභාවයෙන් යුතුව විමර්ශනය කළ හැකි යැයි පිළිගත නොහැක. ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග සමීපයෙන් වැඩ කටයුතු කළ නීතීඥවරුන් බව කියැවේ‘‘. 

ඉතින් මේ පිලපිටිය කමිටුව චෝදනා විභාග කළේ කැකිල්ලේ ක්‍රමයට ය. තීන්දුව දුන්නේ ද කැකිල්ලේ ක්‍රමයට ය. ඔවුන්ට රජයේ සුරැකුම් හෝ මහජන ණය පිළිබඳ කිසිදු තාක්ෂණික දැනුමක් තිබුණේ නැත.

එම තීන්දුව, අගමැතිවරයා යටතේ පැවති ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රසිද්ධ කළේ මේ ආකාරයට ය. 

‘‘රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු සමග මහබැංකු අධිපතිවරයාට කිසිදු සෘජු සහභාගිත්වයක් තිබූ බවට සාක්ෂි නොමැති බවට නීතීඥ කමිටුව නිගමනය කළේය‘‘.

අර්ජුන මහේන්ද්‍රන්, අහිසංකයෙකු ලෙස සලකා ඔහුට කිසිදු වගකීමක් නොපවරමින් ඔහුව නිදහස් කර තිබිණි. 

නමුත් කිසියම් හෝ වරදක් සොයාගත යුතුය. නොඑසේ නම් මේ කමිටුව පත් කළේ කුමකටදැයි ජනතාව අසනු ඇත. ඒ නිසා ‘‘පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලංසු තැබීමේ රටාව අසාමාන්‍ය බවත්, වැඩිදුර විමර්ශන අවශ්‍ය බවත්‘ ඔවුහු නිගමනය කළහ. ලංකා බැංකුවේ හැසිරීම ගැන ඔවුන් කීවේ, ‘‘මෙපමණ මුදල් ප්‍රමාණයක් අවදානමට ලක් කරනා මෙවැනි තීරණ ගැනීමේදී ඔවුන් විසින් සිය ප්‍රධාන ගැනුම්කරුගෙන් කරුණු විමසිය  යුතුව තිබූ බව‘යි. 

අවසානයේ සිදුවූයේ කුමක්ද?

අපේක්ෂිත ‘නිගමනය‘ සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට විපක්ෂ මන්ත්‍රීවරුන් එකහෙළාම තර්ක කර සිටියේ තමන්ට එබඳු පක්ෂග්‍රාහී වාර්තාවක සොයාගැනීම් පිළිගත නොහැකි බවයි.

2015 මාර්තු 17 වැනිදා සිය පාර්ලිමේන්තු කතාවේදී අගමැති රනිල් වික්‍රමසිංහට උස් හඬින් කෑ ගසමින් ත්‍රි පුද්ගල  නීතීඥයන් ආරක්ෂා කරන්නට සිදුවිය. ඒ නීති ක්ෂේත්‍රයේ ඔවුන්ගේ වසර ගණනක අත්දැකීම් කියාපාමිනි. නමුත් අදාළ විෂය සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම ශුන්‍ය වීම සහ සිය පක්ෂය සමග ඔවුන්ගේ ඇති සම්බන්ධය පිළිබඳ ඔහු අතිශයින්ම නිශ්ශබ්ද ව පසුවිය. 

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වමින් කථානායක චමල් රාජපක්ෂ සභා ගැබේ ඇති වූ උණුසුම් වාතාවරණය සන්සිඳවූයේ තමන් විසින් ඉක්මනින්ම මහජන ව්‍යවසායන් පිළිබඳ (කෝප්) උප කමිටුවක් මේ ප්‍රශ්නය සවිස්තරාත්මක ව සලකා බැලීම සඳහා ඉක්මනින්ම පත් කරන බවට පොරොන්දු වෙමිනි.    

ඊනියා ‘යහපාලන‘ ක්‍රියාකාරීන් තිදෙනෙක් ‘විසිවන නඩුවක්‘ ගොනු කරති!

මේ අතර, යහපාලන ක්‍රියාකාරීන් ලෙස නමක් දිනා සිටි තිදෙනෙක් බැඳුම්කර වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ඔවුන් වූයේ ආර්ථික විශේෂඥ සහ හිටපු ජගත් සංවිධාන නිලධාරී ආචාර්ය ජී. උස්වත්තේ ආරච්චි, මහජන සේවා කොමිසමේ හිටපු සාමාජික ආචාර්ය ඒ.සී. විස්වලිංගම් සහ ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති හා වරලත් ගණකාධිකාරී චන්ද්‍රා ජයරත්න ය. 

ඔවුන් විසින් ගොනු කර තිබුණේ ‘මහජන අර්ථසිද්ධි නඩුකර‘ හෙවත් ‘පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන්‘ වර්ගයේ නඩුවකි.

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය, මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, එහි ප්‍රධාන විධායක නිලධාරී, මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් සහ නීතිපතිවරයා යන අය වගඋත්තරකරුවන් වශයෙන් පෙත්සම්කරුවන් තිදෙනා විසින් මෙහිදී සඳහන් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිය ගැන මෙන්ම අධිකරණ පරිචයන් ගැන ද මනා දැනුමක් ඇති ප්‍රධාන පෙළේ උගත් නීතීඥවරුන් දෙදෙනෙකි. 

නමුත් අඳෝමැයි! ඒ පෙත්සමේ සඳහන් ඉල්ලීම් මගින් යුක්තිය ලබාගැනීම හෝ වැරදිකරුවන්ට දඬුවම් කිරීම කැපී පෙනුණේ නැත. 

බොහෝ නීති විශාරදයන් පසුව කීවේ මෙම පෙත්සම පිළියෙළ කර තිබුණේම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසීමකින් තොරවම ඉවත දැමීම සඳහා බවයි!

ඒ සැකය නිවැරදි විය. 

අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, විනිසුරු පියසාත් ඩෙප් සහ විනිසුරු රෝහිණී මාරසිංහ යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල  2015 මැයි 14 දා පෙත්සම නිෂ්ප්‍රභා කළේ, මෙම පෙත්සම ‘විභාගය සඳහා අවසර දීමට‘ පදනමක් නැත යන පදනමෙනි. මහබැංකුව සම්බන්ධයෙන් කාර්යපටිපාටීන් නියම කිරීම අධිකරණවල කටයුත්ත නොවේ යැයි ද එහිදී සඳහන් විණි. 

අවසානයේ එක්තරා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කියන්නට පටන් ගත්තේ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ‘වරදකරු නොවේ‘ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ බවයි!

පැහැදිලිවම එම පෙත්සම, මහබැංකු අධිපති මහේන්ද්‍රන් ගේ දෑත් පිරිසිදු යැයි මහජනතාව නොමග යැවීම සඳහාම දක්ෂ ලෙස සකස් කළ එකක් විය.

පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී,  තමන් කිසිදු වරදක් කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන්ව ‘නිදොස් කළ‘ බව මහේන්ද්‍රන්ම කීවේය!

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස