‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන් කියයි - බැඳුම්කරේ ජරමරේ 5 වන දිගහැරුම

1 August 2020 11:16 am

පෙර ලිපියෙන් සඳහන් කළ ආකාරයට 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහා බැඳුම්කර වංචාවට අමතරව, 2016 මාර්තු මාසයේදී තවත් බැඳුම්කර වංචා දෙකක් ද සිදුවන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ සෘජු අපසහායකත්වය ඇතිව ය. ඔහු මේ සා දැවැන්ත උමතුවකින් හැසිරීම පිටුපස තිබුණේ ඒ වන විට රටේ විශාලතම දේශපාලන හස්තය වූ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම බව රහසක් නොවුණි.

කෙසේ වෙතත් පසුව ප්‍රධාන විමර්ශන තුනක් (කෝප් පරීක්ෂණ 2 ක් සහ, බැඳුම්කර වංචාවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම) මගින් පසුව තහවුරු කළ පරිදි ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ශ්‍රී ලංකා මහබැංකුවේදී 2015 පෙබරවාරි 27 දා සිදුවූයේ 30 අවුරුදු බැඳුම්කරය නිකුත් කිරීම හරහා ය.

ඒ අනුව මෙතැන් පටන් අවධානය යොමුවන්නේ එම බැඳුම්කර වංචාව සමගම මනා ලෙස සංවිධානය කර තිබූ ‘මහා යටගැසීමේ වෘත්තාන්තය‘යි. 

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු අංශ විසින් එවැන්නක් සිදුවූ බව ප්‍රතික්ෂේප කිරීම ආරම්භ විය. 

එය මනා පෙරහුරුවකින් යුතුව සිදුකළ දෙයක් බව ද පෙනී ගියේය. 

යට ගැසීමේ පළමු උත්සාහය මහේන්ද්‍රන්ගෙන්

පළමු ප්‍රතික්ෂේප කිරීම පැමිණියේ, සිදුවිය යුතු ලෙසටම අර්ජුන මහේන්ද්‍රන් වෙතිනි. 

2015 මාර්තු 2 වැනිදා මාධ්‍යය වෙත කතා කරමින් ඔහු මෙසේ කිවේය. 

‘‘පොලී අනුපාතික ඉහළ යනවිට බැඳුම්කර මිල පහළ යනවා. මේකෙන් ලාභ ලැබුවේ කවුද කියා මම දන්නේ නැහැ. මේ කතන්දරය පතුරවන්නේ පුද්ගලික ස්ථානගත කිරීම් හරහා වෙළඳපොළ පාලනය කරන මාෆියාවක් විසින්.‘

එහිදී පොලී අනුපාතික අත්තනෝමතික ලෙස ඉහළ දැමුවේ තමන් විසින්ම බව මහේන්ද්‍රන් සාහසික ලෙස අමතක කර දමයි. මේ වංචාවේ සුල මුල මාධ්‍ය විසින් ද හරිහැටි දැන සිටියේ නැත. එනිසා එම මාධ්‍ය සාකච්ඡාවේ සිටි කිසිම අයෙක්, ‘‘ඉතින් ඔබතුමාම නේද පොලී අනුපාතික ඉහළ දැම්මෙ?“ කියා ඇසුවේ ද නැත. 

අනෙක් අතට, මෙයින් ලාභ ලැබුවේ කවුරුන්ද කියා ඔහු නොදැන සිටින්නට කිසිම විදියක් නැත. ඔහුගේ බෑණාගේ සමාගමේ (පර්පෙචුවල් ට්‍රෙෂරීස්) ගිණුම්ගත ශේෂය පිරික්සා බැලුවේ නම්, නොඑසේ නම් බෑණාගෙන්ම ඇසුවේ නම් ඔහුට එය ලෙහෙසියෙන්ම දැනගන්නට ඉඩ තිබිණි! 

ආර්ථික ගුරු ආචාර්ය හර්ෂ ද සිල්වා ‘ඔව්‘ කිව්වෙත් නෑ - ‘නෑ‘ කිව්වෙත් නෑ!

මේ අතර, 2015 මාර්තු 6 වැනිදා මාධ්‍ය විසින් එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රශ්න කෙරුණේ මෙම චෝදනාවල කිසියම්ම හෝ සත්‍යතාවයක් තිබේද යන්න ගැන ය. මාධ්‍ය විසින් එසේ ප්‍රශ්න කිරීම අතිශය යුක්ති සහගත වන්නේ ශ්‍රී ලංකා මහබැංකුව ඒ වන විටත් මුදල් අමාත්‍යාංශයෙන් ‘ගළවා‘ අගමැතිවරයාට අයත් එම අමාත්‍යාංශය යටතට ගෙන තිබූ නිසා ය. 

එවිට ඔහු කීවේ කුමක්ද?

‘‘ඇත්ත ස්ථාවරය පැහැදිලි කරලා අපි අමාත්‍යාංශය හරහා ප්‍රකාශයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම අපි මොකුත් කියන්නෙ නෑ‘‘. 

ඒ අනුව ඔහු ‘ඔව්‘ කිව්වේ නැත. ‘නෑ‘ කිව්වේ ද නැත. 

දැන් සුවසැරියේ එල්ලී ගිලන් රථවල පිහිටෙන් 2020 මහමැතිවරණය ජය ගැනීමේ ඒකායන අදිටනෙන් පසුවන ආචාර්ය හර්ෂ ද සිල්වා එදා මෙන්ම අදත් මේ මහා බැඳුම්කර වංචාවන් ගැන මොකුත්ම කියන්නේ නැත!

ලංකාවේ ආර්ථිකය ගැන එදා මෙන්ම අදත් ඝෝෂකයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා, අදටත් මේ ගැන මොකුත්ම නොකියන්නේ ඇයිදැයි ඇසිය යුතු වන්නේ ඔහුගෙන් නොව රනිල් වික්‍රමසිංහගෙනි!

යන්නෙ කොහෙද - මල්ලෙ පොල්!

කියූ ලෙසටම පහුවැනිදා එනම් 2015 මාර්තු 7 වැනිදා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ, ‘‘ඉදිකිරීමේ ව්‍යාපෘතිවල බිල් පියවීම සඳහා ආණ්ඩුවට හදිසියේම රු. බිලියන 20 ක් සොයාගැනීමට උවමනා වූ බවත්, හදිසි බැඳුම්කර නිකුතුව සිදුකළේ ඒ  නිසා බවත් ය. 

එයට අමතර  වශයෙන් එහි තිබුණේ අතිශයින්ම අදාළ නැති දේවල් ය. එනම්, ජනතාවට දැනගැනීමට අවශ්‍ය ව තිබුණේ බැඳුම්කරය නිකුත් කිරීමේදී වංචාවක් සිදුවීද යන්නයි. ඒ වෙනුවට පෙර පැවති සෘජු නිකුතු ක්‍රමයේ අවාසි සහ මහේන්ද්‍රන්ගේ ‘වෙන්දේසිය පමණයි‘ ක්‍රමයේ වාසි ගැන හිතලු රැසක් ඒ මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත ව තිබුණේය.  

උදාහරණයක් වශයෙන්, පහත ප්‍රශ්න ගැන අබමල් රේණුවකවත් පිළිතුරක් එම නිවේදනයේ තිබුණේ නැත.

- රජයේ මුදල් අවශ්‍යතාවය බිලියන 1 ක් වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (PTL) බිලියන 15ක ලංසු ඉදිරිපත් කරන්නේ ඇයි?

- PTL සමස්ත බැඳුම්කර නිකුතුවෙන් 50%කට වගකීවේ කොහොමද?

- මෙවැනි ලංසු තැබීමක් රහස්‍ය (සංවේදී) තොරතුරු ලබාගැනීමකින් තොරව සිදුකළ නොහැකි ය. එසේ නම් PTL එම රහස්‍ය තොරතුරු ලබාගත්තේ කොහෙන්ද?

- අවසානයේ PTL විසින් ඒ සා විශාල ආශ්චර්යමත් ලාභයක් ලබන තෙක් මහබැංකුව සහ රේඛීය අමාත්‍යාංශ නිදා සිටියාද?

- මහබැංකු අධිපතිගේ බෑණාට අයත් PTL සමාගම මිනිත්තු කිහිපයක් ඇතුළත රුපියල් බිලියන 13 ක සුවිශේෂී ණය පහසුකමක් 2015 පෙබරවාරි 27 දා ලබාගත්තේ කෙසේද?

රවී කරුණානායක ‘අහිංසක මෝඩයෙක්‘ බවට පත් වෙයි

මේ අතර එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක තමන්ට අයත් නැති සහ, තමන් නොදන්නා දෙයක් ගැන අදහස් පළ කරන්නට යාම නිසා අදටත් ‘බැඳුම්කර හොරා‘ යැයි සමාජ මාධ්‍යවල බැණුම් අසමින් සිටියි. 

ඔහුගේ අමාත්‍යාංශය වූ මුදල් අමාත්‍යාංශයෙන් මහබැංකුව ගළවා දමා තිබියදීත්, 2015 මාර්තු 10 වැනිදා රවී කරුණානායක ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වයි. 

ඇතැම්විට ඒ, මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේම බලපෑම හෝ නියෝග මත විය හැකිය. 

එහිදී රවී කරුණානායක කියන්නේ ‘මහබැංකු බැඳුම්කර නිකුතුවේදී කිසිම වංචාවක් සිද්ධ වෙලා නැහැ. කොහොම වුණත් මේ ගැටළුව ගැන පරීක්ෂා කරන්න ආණ්ඩුව කමිටුවක් පත් කරන්න කැමතියි‘‘

ඒ මදිවාට ඔහු ද අගමැතිවරයා සේම පෙර පැවති සෘජු නිකුතු ක්‍රමයේ ‘අඩුපාඩු‘ ‘සොයාගෙන‘ තිබිණි. 

‘මමයි බෑණයි දුරයි!‘ - මහේන්ද්‍රන්

මේ අතර මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ද මාධ්‍ය හමුවක් පැවැත්වූයේය. 

එහිදී ඔහු පෙන්වන්නට උත්සාහ ගත්තේ තමන් සහ බෑණාගේ PTL සමාගම අතර පවතින්නේ දුරස්ථ සම්බන්ධතාවයක් පමණක් බව ය!

තමන් මහබැංකු අධිපති ධුරය භාරගන්නා විට තමන්ගේ බෑණා PTL හි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ කතාවක් ද ඔහු කීවේය. 

මතභේදාත්මක බැඳුම්කරයේ දී ණයට ගත යුතු වූ මුදල රුපියල් බිලියනයේ සිට බිලියන 10 දක්වා ඉහළ දමන්නට සිදු වුණේ ආණ්ඩුවට ‘තවත් සල්ලි‘ උවමනා වූ නිසා බව ද කීවේය.

මහේන්ද්‍රන් සිතන්නට ඇත්තේ මේ රටේ ජනතාව මෝඩයන් බව ය. ව්‍යාපාර කටයුතු පිළිබඳ දළ දැනුමක් ඇති අය පවා දන්නා පරිදි ඕනෑම සමාගමක ලාභයේ ප්‍රතිලාභීන් වන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය නොව එහි කොටස් හිමිකරුවන් ය. 

PTL සමාගමේ කොටස් හිමියන් වූයේ ඔහුගේ බෑණා සහ ඔහුගේ පවුලේ අය ය. 

ඒ නිසා අර්ජුන ඇලෝසියස් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේද නැතිද යන්න මේ ගැටළුවට කොහෙත්ම අදාළ කාරණයක් නොවේ. 

ජනපතිට කලින් අගමැති ට ‘කමිටු උණ‘ වැළඳෙයි

මේ සියලු අපභ්‍රංස මැද යහපාලනයට කණ කොකා හැඬවූ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව දස දෙසින් මහජන විරෝධය නැගී එන්නට පටන් ගත්තේය. 

රනිල් වික්‍රමසිංහ, තමන්ගේ පිහිටෙන් ආණ්ඩුවක් පිහිටවා ගෙන තමන්ට කොකා පෙන්වූ බව ඒ වන විට ජනපති මෛත්‍රිපාල සිරිසේන ට ද පෙනී ගොස් තිබුණේය. 

ඒ නිසා අවසානයේ මේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් අවම වශයෙන් හෝ කළ යුතු යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන කල්පනා කළේය. 

තමන් මේ සම්බන්ධයෙන් ‘විශේෂ විමර්ශන කමිටුවක්‘ පත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා නිවේදනය කළේය. 

අගමැති රනිල් පුදුමාකාර කලබලයකට පත් විය. 

ජනපතිට කලින් ඔහු කුප්‍රකට ‘ත්‍රී පුද්ගල නීතීඥ කමිටුවක්‘පත් කරන බව කීවේය. 

ඒ නීතීඥ කමිටුවේ සිටියේ කවුද? ඔවුන් කළේ මොනවාද සහ කිව්වේ මොනවාද කියා මීළඟ කොලමෙන් ඔබ දැනගනු ඇත.

මහේන්ද්‍රන් ‘මළ විකාරයකින් පසු‘ නිවාඩු යයි

එම විමර්ශනය අවසන් වත තෙක්, 2015 මාර්තු 15 දා පටන් තමන් ‘නිවාඩු‘ යන බව මහේන්ද්‍රන් ද නොපමාව කීවේය. ඒ, කමිටුවේ කටයුතුවලට ‘අපක්ෂපාතී‘ ලෙස සහයෝගය දී ‘නිදොස් පුද්ගලයෙක්‘ වශයෙන් නැවත මහබැංකුවට පැමිණීමටලු!

‘නිවාඩු‘ යාමට පෙර, පී. සමරසිරි නම් වූ, කණිෂ්ට භාවයෙන් වැඩිම නියෝජ්‍ය අධිපතිවරයා ව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස (ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස) පත් කිරීමටත් මහේන්ද්‍රන් අමතක නොකළේය. 

නමුත් එය එකහෙළාම විකාරයකි. 2015 පෙබරවාරි 27 දා මතභේදාත්මක බැඳුම්කර නිකුතුව සිදුකරන විට එම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ද පී. සමරසිරිම ය. එනිසා ඔහු පැහැදිලිවම මේ අපරාධයේ හවුල්කරුවෙකි. ඒ අනුව අධිපතිවරයා නිවාඩු ගොස් තමන් වෙනුවට වැඩ බැලීමටත් මේ තැනැත්තාම පත් කිරීම මගින්, අධිපතිවරයාගේ සියලු බලතල සහිතව කමිටුවේ කටයුතුවලට අදාළ තොරතුරුවලට සියලු ප්‍රවේශය ලබාගන්නට ඔහු සමත් වුණේය. 

වෙනත් වචනවලින් කියනවා නම්, ‘නිවාඩු ගිය‘ මහේන්ද්‍රන්, සමරසිරි හරහා ‘බෑන්ක් හවුස්‘ හි නිවාඩු පාඩුවේ සිටිමින්ම තවදුරටත් මහබැංකුව ‘භක්ෂණය කරමින්‘ (කා දමමින්) සිටියේය!

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
 
බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම