මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

මහබැංකුවේම බිලියන 42කින් මහබැංකුවේම බැඳුම්කර මිලට ගත් හැටි - බැඳුම්කරේ ජරමරේ - 4 වන දිගහැරුම

30 July 2020 01:14 am

මහබැංකු අධිපති මහේන්ද්‍රන්, භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවන පොලී අනුපාතිකය හදිසියේම 3%කින් ඉහළ දමන බව, එනම් ඒ සඳහා ඉදිරියේදී 12.5%ක් ලැබෙන බව දිව්‍ය ඥාණයකින් මෙන් ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් (PTL)  සමාගම දැන ගනියි. ඒ අනුව ඔහු ඒවා 12.5%කට ආසන්නයෙන් ලකුණු කර අර්පණය කර, ද්විතියක වෙළඳපොළේ බිලියන ගණනක් ලාභ ලබමින් විකුණා දමයි. 

ඒ අනුව මෙවැනි හයිකාර මාමලා ලබන පින්කාර බෑණලාට කියන නමක් තිබෙන බවත්, ඒ නමට A අකුරු දෙකක් තිබෙන බවත් මීට පෙර ලිපියෙන් කීවෙමු. අද එතැන් සිට...  

මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සියැසින්ම දැක බලා ගැනීම සඳහා එම වෙන්දේසිය සිදුවන කාමරයට ගියේය. 

කීර්තිමත් ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා මහබැංකුව ශෝක ජනක නරඹන්නෙකු බවට පත් වී මේ සාහසික නාඩගම දෙස බලා සිටියේය. 

මාස 29 ක් එයට එසේ බලා සිටින්නට සිදුවිය. 

මාස 29කට පසු පැරණි ක්‍රමය වූ ‘වෙන්දේසිය සහ  සෘජු නිකුතූන්‘ ක්‍රමය නැවත ඇති කෙරුණේ 2017 ජූලි 25 දිනැති මාධ්‍ය නිවේදනය මගිනි. නමුත් එහිදී පැරණි ක්‍රමය ‘අලුත් ක්‍රමයක්‘ යැයි කියාපෑමට තරම් බලධාරීන් නිර්ලජ්ජිත වී තිබිණි. 

ඒ අතරතුරු දෙවැනි බැඳුම්කර වංචාව ද සිදුවිය. 

එය සිදු කෙරුණේ 2016 මාර්තු මාසයේදී ය. දෙවාරයකට (2016 මාර්තු 29 සහ 2016 මාර්තු 31) ය. 

මෙහිදී ද පෙර පරිදිම, PTL සමාගමට මෙම බැඳුම්කර මිලදී ගැනීමට ද වත්කමක් තිබුණේ නැත. එනම්, ඔවුන්ට ලංසු තැබූ සහ එසේ ලංසු තබා ලබාගත් පෙර බැඳුම්කර බේරුම් කිරීමට අවශ්‍ය රුපියල් බිලියන 42 ක් ඔවුන් සතුව තිබුණේ නැත. 

පළමු බැඳුම්කරය මිලදී ගන්නට ලංකා බැංකුවෙන් අසාමාන්‍ය බිලියන 10 ක ණයක් ලබාගෙන, ඒ බව මාධ්‍ය වල ද පළවු හෙයින් මේ වතාවේ ඔවුන් එයට මුදල් සොයාගත්තේ ඊටත් වඩා සූක්ෂම ලෙස ය. 

එනම්, ඔවුන් මෙම දෙවැනි බැඳුම්කර ද්විත්වය මිලදී ගන්නේ මහබැංකුවේම මුදල් වලිනි!

ශ්‍රී ලංකා මහබැංකුවෙන් ලබාගත හැකි ‘ප්‍රතිවිකුණුම් පහසුකම‘ ඒ සඳහා යොදා ගැනිණි. එහිදී වසරකට 8%ක් වැනි අඩු පොලී අනුපාතිකයකට රුපියල් බිලියන 22 ක් ලබාගත්තේ රුපියල් බිලියන 11 ක් පමණක් වන සුරැකුම් ඉදිරිපත් කිරීමෙනි!

මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට බැංකුවකින් ණයක් ලබාගැනීමට යාමේදී එයට වඩා අනිවාර්යයෙන්ම විශාල සුරැකුමක් ලබාදිය යුතු බව ඕනෑම කෙනෙක් දන්නා කාරණයකි. 

නමුත් මෙහිදී ලබාගන්නා මුදලින් භාගයක් පමණක් වන සුරැකුමක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන අතර, මහබැංකුව ද යුහුසුළුව එය පිළිගනියි!

මෙවිට මහබැංකුව  කුඩා දඩයක් නියම කර එම ප්‍රතිවිකුණුම් පහසුකම සමාගමට ලබා දුන්නේය. 

ඉන් අනතුරුව, එක් දිනක් තුළ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන්ට ලබාගත හැකි මහබැංකුවේම ‘අන්තර්-දින ද්‍රවශීලතා පහසුකම‘ මගින් ඔවුන් මහබැංකුවේම මුදල්වලින් තවත් රුපියල් බිලියන 20 ක් ලබාගනියි!

මෙම බිලියන 20ම, මහේන්ද්‍රන්ගේ මෙහෙයවීම මත මහබැංකුව ලබාදෙන්නේ පොලී රහිතව ය!

සම්පූර්ණ බේරුම්කරණය සඳහා PTL සමාගමට තවත් රුපියල් බිලියන 11 ක් මදි වූ විට මහබැංකුව කුඩා දඩයක් ගසා එයට ද ඉඩ ලබාදෙයි!

කෙටියෙන් කියන්නේ නම්, මේ අනුව දෙවැනි බැඳුම්කර ද්විත්වය සඳහා PTL සමාගම, අවශ්‍ය කරන බිලියන 42 ම ලබාගන්නේ මහබැංකුවේ මුදල්වලිනි. 

එනම්, ඔවුහු පැහැදිලිවම මහජනතාවගේ මුදල් සමග කදිම සූදුවක් කරමින් සිටියහ. 

එම සූදුවෙන් හයිකාර මාමාගේ පින්කාර බෑණා ජය පිට ජය ලැබුවේය. 

ඒ, අතේ මුදල් නැතිව බිලියන 42ක බැඳුම්කර මිලදී ගෙන ඒවා සේවක අර්ථ සාධක අරමුදලට (EPF) දින කිහිපයක් ඇතුළත විකුණා දැමීම මගිනි. එමගින් PTL සමාගම දින කිහිපයක් ඇතුළත රු. මිලියන 4,652 ක, එනම් රු. බිලියන 5 කට ආසන්න ලාභයක් ලැබුවේය...!

ඒවා අධි මිලට මිලදී ගත් සේවක අර්ථ සාධක අරමුදල එනිසාම මිලියන ගණනක පාඩුවක්, විය යුතු ලෙසටම ලැබුවේය! 

පසුව බැඳුම්කර කොමිසම හමුවේ විශේෂිත කරුණක් හෙළිදරව් වෙයි. 

ඒ, 2016 මාර්තු 29 සහ 2016 මාර්තු 31 දා පැවැත්වූ වෙන්දේසිවලදී ලංසු තබන්නට එපා යැයි සේවක අර්ථසාධක අරමුදලට විශේෂ නියෝගයක් ඉහළින් කර තිබුණු බවයි. 

එපමණක් නොව  ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ට ද මේ හා සමාන උපදෙස්ම ලැබී තිබුණේය. 

එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

බැඳුම්කර මිලදී ගන්නට පමණක් නොව, බැඳුම්කර වෙළඳපොළ තුළ ඒකාධිකාරය ඇති කර ගන්නටත් PTL සමාගමට පහසුවෙන්ම හැකියාව ලැබුණේය. 

සියල්ල පෙර සැලසුම් කර නොතිබුණි නම්, මේ තරම් සංවිධානාත්මක ලෙස කිසිවක් සිදු නොවනු ඇත. 

මේ අතර, අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙම පිළිගත නොහැකි හැසිරීම ගැන අගමැතිවරයා වචනයක් හෝ කීවේද? නැත. 

 2017 සැප්තැම්බර් මාසයේදී දිවුරුම් පෙත්සමක් මගින් බැඳුම්කර කොමිසම හමුවේ මහේන්ද්‍රන්ට ‘චරිත සහතික‘ දුන්නේය. 

ඔහු සමග ඡායාරූපවලට ද පෙනී සිටියේය. විදේශ සංචාරයකට ද එක් විය. 

හැකි සෑම අවස්ථාවකදීම, පාර්ලිමේන්තුවේදී පවා මහේන්ද්‍රන්ව ආරක්ෂා කළේය. 

2016 ජූනි 30 දා මහේන්ද්‍රන් සිය ධුර කාලය නිමා කර මහබැංකුවෙන් නිදුකින් නික්ම ගියේය. 

අවසානයේ නිදි පැදුරටත් නොකියා රටෙන් පළා ගියේය. ‘ඔහුගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වගකීම ගන්නා බව‘ කී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කසාය බිව් ගොළුවෙකු සේ නිහඬව සිටියේය. 

දැන් මහේන්ද්‍රන් කෙනෙක් නැත. ඔහුගේ නම පවා වෙනස් කර ගෙන තිබේ. දැන් සිටින්නේ ‘අර්ජුන මහේන්ද්‍රන්‘ නොව ‘අර්ජන් ඇලෙක්සැන්ඩර්‘ (Arjan Alexander) ය. අර්ජුන පවා අර්ජන් වී තිබේ. ඉන්ටපෝල් තහවුරු කිරීමකට අනුව, 2020 ජූනි 16 දින ඒ බව නීතිපතිවරයා විසින් දැනුම් දී සිටියේ බැඳුම්කර වංචාව පිළිබඳ ව විභාග කරන කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයේදී ය. ඒ අනුව නිදි පැදුරටත් නොකියා, නමුත් රටේ ඉහළම දේශපාලන අධිකාරියේ ආශිර්වාදය මැද රටෙන් පළාගිය ඔහුව අල්ලා ගැනීම සඳහා දැන් ඉන්ටපෝල් රතු වරෙන්තුවේ ද නම වෙනස් කළ යුතුව තිබේ!  

- හැමෝම දන්නා ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.