බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 3 කොටස

28 July 2020 08:07 pm

2015 ජනවාරි අගභාගයේ අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස නම් කෙරිණි. මේ නම් කිරීම පිටුපස සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ බව නොරහසක් විය. ඒ සමගම 2015.02.27 දින සිදුකෙරුණු පළමු බැඳුම්කර වංචාවට පිටිය සකස් කිරීම ආරම්භ විය. 

බැඳුම්කර නිකුත් කිරීම හෙවත් බැඳුම්කර නිකුතුව හැමවිටම සිදුකරන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) විසිනි. මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා වූ විගස එම දෙපාර්තමේන්තුවේ සුපිරින්ටෙන්ඩන්ට්වරයා වශයෙන් සිටි ධම්මික නානායක්කාර ඇතුළු නිලධාරීන් ගණනාවක් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කෙරිණි. ධම්මික වෙනුවට පත් කළ දීපා නානායක්කාර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ කිසිදු පළපුරුද්දක් තිබූ අයෙක් නොවේ. ඒ, ඇය PDD හි සේවයට පැමිණි පළමු අවස්ථාවයි. 

මෙයට සමාන්තරව PDD භාර නියෝජ්‍ය අධිපතිවරයා වූ ආනන්ද සිල්වා වෙනුවට ‘යහපාලන‘ රෙජීමයේ දැඩි ආධාරකරුවෙකු ලෙස ප්‍රකට නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ව පත් කෙරිණි. බැඳුම්කර වංචාවට උදව් කිරීම හැරුණු විට, එය වසංකිරීමේ මහා මෙහෙයුමට ද මෙම නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ඇප කැප වී ක්‍රියා කළ අයුරු මෙම කොලමේ පසු ලිපියකදී ඔබ දැනගනු ඇත.

ඉන්පසු මහේන්ද්‍රන් කළේ මහබැංකුව විසින් වාණිජ බැංකුවලට ලබාදෙන 5% ක ස්ථාවර තැන්පතු පහසුකමෙහි (SDFR) පහළ සීමාව අහෝසි කිරීමයි. ඒ සමගම කිසිදු සාකච්ඡාවකින් හෝ පෙර ඇඟවීමකින් තොරව පොලී අනුපාත ඉහළ දැමීමට බල කරමින් අමුතු තීරණයක් තනි මතයට ගත්තේය. ඒ සඳහා ඔහුට කිසිදු බියක් හෝ සැකයක් ඇති නොවන්නට ඇත්තේ තමන්ව රකින්නට අගමැතිවරයාව ඉදිරිපත් වන බව ඔහු ඉතාම හොඳින් දැන සිටි නිසා ය. 

මෙයින් සිදුවුණේ කුමක්ද?

පෙර පැවති පහසුකම යටතේ වාණිජ බැංකුවලට සිය අතිරික්ත අරමුදල් ශ්‍රී ලංකා මහබැංකුවේ 6.5%ක පොලී අනුපාතයකට සතියකට තුන් වරක් තැන්පත් කිරීමට/ ස්ථානගත කිරීමට පහසුකම් ලැබිණි. මෙටය ඉහළ තැන්පත් කිරීම් සඳහා පමණක් 5%ක  පොලී අනුපාතයක් ලබා දේ.  මේ බව පෙර ලිපියෙන් ද පැහැදිලි කර තිබේ. 

පසුව හෙළි වූ කරුණු අනුව මහේන්ද්‍රන් මෙහිදී සිදුකර තිබුණේ මුදල් මණ්ඩල තීරණවලට අත්තනෝමතික ලෙස ද්‍රෝහි වීමකි. 

මතභේදාත්මක පළමු බැඳුම්කරය නිකුත් කළේ 2015 පෙබරවාරි 27 දා ය. මෙම බැඳුම්කර නිකුතුවට දවස් 3 කට පෙර, එනම් 2015 පෙබරවාරි 24 වැනිදා මහබැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී එක් වැදගත් තීරණයක් ගෙන තිබුණේය. එය නම්,  ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත (එනම් SDFR සහ SLFR), ඊළඟ මාසයේ රැස්වීම තෙක් ඒ වන විට පැවති තත්වයෙන්ම නොවෙනස් ව පවත්වා ගත යුතු බව ය.

ඒ අනුව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙම පොලී අනුපාතික වෙනස් කර තිබෙන්නේ මුදල් මණ්ඩලය නොවිමසා ය. එය මූලික ආර්ථික සිද්ධාන්තවලට ද එක හෙළාම පටහැණි තත්වයක් විය. 

නමුත් එයින් මහේන්ද්‍රන්ට අවශ්‍ය දේ ඒ ආකාරයෙන්ම සිදු විය. 

සාමාන්‍යයෙන් බැඳුම්කර මිල ගණන් සහ පොලී අනුපාත අතර තිබෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. එනම්, පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිල ගණන් ඉහළ යයි. පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිල ගණන් පහළ යයි. ඒ අනුව, විය යුතු ලෙසටම, භාණ්ඩාගාර බැඳුම්කරවල මිල ගණන් පහළ ගියේය. ඒවා හදිසියේම ලාබ විය!

ශ්‍රී ලංකා මහබැංකුවේ මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල සිදුවූ වෙනස්කම වෙළඳපොළ විසින් දැනගන්නටත් පෙර ඒ බව මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් දැනගත්තේය! පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (PTL) පවතින්නේ ඔහුගේ හිමිකාරිත්වය යටතේ ය. 

ඒ බව සනාථ වන්නේ මහේන්ද්‍රන්ගේ හදිසි තීරණය නිසා බැඳුම්කර මිල පහළ යාමට පෙර අතිශය විශ්වාසයෙන් යුතුව සහ ඉතාම ලෙහෙසියෙන් PTL සමාගම විසින් තමන් සතුව පැවති බැඳුම්කර විශාල ප්‍රමාණයක් ද්විතියික වෙළඳපොළේ විකුණා දමා ලාභ පිට ලාභ උපයා තිබූ නිසා ය. 

පළමු බැඳුම්කර වංචාව මුල පටන්ම සැලසුම් කළ එකක්!

‍2015 පෙබරවාරි 27 වැනිදා රුපියල් බිලියන 1.0 ක් ලබාගැනීම සඳහා 30 අවුරුදු බැඳුම්කරයක් නිකුත් කරන බව සියලු ප්‍රාථමික ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකා මහබැංකුව විසින් සුපුරුදු පරිදි නොතීසියක් නිකුත් කරමින් දන්වා තිබිණි. 

නමුත් ශ්‍රී ලංකා මහබැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ සඳහා අසාමාන්‍ය ලංසු ප්‍රමාණයක් මෙවර ලැබේ. එනම් රුපියල් බිලියන 20 කම ලංසු ලැබේ. 

ඒ බිලියන 20 ක ලංසු අතරින් 75%ක්ම ලංසු තබා තිබුණේ PTL හෙවත් මහබැංකු අධිපතිගේ බෑණාගේ සමාගමයි. 

එම ලංසු ලැබුණු දිනයේදී මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) ට ගියේය!

මහබැංකු ප්‍රධානියෙක් එහි ඉතිහාසයේ කිසි දිනෙක රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බලන්නට යන්නේ නැත. එහි ඔහුට කරන්නට ව්‍යවස්ථාපිත රාජකාරියක් නැත. 

මේ වන විට රජයේ මුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 10 ක් බව පසුගිය ලිපියේදී සඳහන් කළෙමු. නමුත් දැන් එමෙන් දෙගුණයක, එනම් රුපියල් බිලියන 20 ක ලංසු ලැබී තිබේ.

PDD වෙත ගිය මහේන්ද්‍රන්, ණයට ගන්නා මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 20 දක්වා වැඩි කරන ලෙස නියෝග දුන්නේය!

මේ නියෝගය ඔහු ලබාදෙන්නේ තමන් විසින් පත් කළ අලුත් PDD සුපිරින්ටෙන්ඩන්ට්වරයාට ය. නමුත් PDD හි පළපුරුදු ජ්‍යේෂ්ඨ නිලධාරීහුද සිටිති. ඔවුන්ට කිසියම් අවුලක් සිදුවන්නට යන බව දැනෙන්නට ඇත. මේ නිසා ඔවුන් මෙම තත්වය ප්‍රශ්න කරන අතර, වංචාව සිතූ තරම් ලෙහෙසියෙන් කරගත නොහැකි බව මහේන්ද්‍රන්ට පෙනී ගියේය. 

ඒ නිසා, රුපියල් බිලියන 10 ක් පමණක් ණයට ගන්නා ලෙස මහේන්ද්‍රන් ටෙන්ඩර් මණ්ඩලයට උපදෙස් දුන්නේය. 

ඔහු ලබාදුන් එම නියෝගාත්මක උපදෙස සරල බසින් මෙසේ ය.  

‘‘මින් ඉදිරියට මුදල් ණයට ගැනීම කළ යුත්තේ ‘වෙන්දේසිය පමණයි‘ (auction only) ක්‍රමයෙන් විතරයි. සෘජු නිකුතු (direct placements) අහෝසි කරනවා..‘‘

මහේන්ද්‍රන් ඒ කළේ, 1997 වසරේ ඒ.එස්. ජයවර්ධන මහබැංකු අධිපතිවරයා ව සිටියදී රටට ප්‍රාථමික වෙළඳාම් ක්‍රමය යටතේ හඳුන්වා දුන්, කාලාන්තරයක් තිස්සේ සාර්ථකත්වය උරගා බලා තිබූ (time tested) සෘජු නිකුතු ක්‍රමයයි. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පමණක් විකිණිය යුතු බව ඔහු හීනෙන් අවදි වූවාක් මෙන් නියෝග කරයි. 

මෙහි ක්ෂණික ප්‍රතිඵලය ලෙසට තිස් අවුරුදු බැඳුම්කරය සඳහා මීට පෙර මහබැංකුව විසින් පනවා තිබූ 9.5%ක පොලී අනුපාතිකය 12.5% දක්වා ක්ෂණිකව ඉහළ යයි.

වෙන්දේසියකදී ලැබෙන ඉහළම මිලට විකිණීම සිදුකළ යුතුය. භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ද කතාන්දරය මෙයම ය. බැඳුම්කර පොලී අනුපාතිකය 12.5% දක්වා ඉහළ දමන බව මහේන්ද්‍රන් කීවේ එකවරම ය. කිසිදු විශේෂඥ මත විමසීමකින් හෝ පර්යේෂණයකින් තොරව ය. නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට දිව්‍ය ඥානයෙන්වත් එය පෙනුණාද?

ඔවුන් ඉදිරිපත් කළ අර්පණවලින් අති බහුතරයක පොලී අනුපාතය ලකුණු වී තිබුණේ 12.5% ට ආසන්නයෙනි.....!!!

මෙවැනි හයිකාර මාමලා ලබන පින්කාර බෑණලාට කියන නමක් තිබේ. ඒ නමට A අකුරු දෙකක් තිබේ! 

- හැමෝම දන්න ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි. 

සංස්කාරක සටහන - මෙම ලිපියේ නම් සඳහන් පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපි

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස
 

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස