බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි - 2 කොටස

27 July 2020 12:22 pm

ලංකාවේ උදවිය දන්නා එකම ‘බොන්ඩ්‘ ජේම්ස් බොන්ඩ් යැයි එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවත්, ඇත්තෙන්ම 2015.02.27 දින සිදුකළ මහා බැඳුම්කර වංචාව ගැන බොහෝ තොරතුරු ඒ වන විටත් හෙළිදරව් වෙමින් තිබුණේය. 

එම සිදුවීම්වල පැවතියේ නාට්‍යානුසාරී ගතියකි. 

2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහගේ ‘යහපාලන ආණ්ඩුව‘ බලයට පැමිණෙන විට රටේ පැවති උද්ධමනය 3.3%කි. එය සාපේක්ෂව යහපත් අඩු අගයකි. එයට පෙර අවුරුදු 6 තුළම උද්ධමනය මේ අන්දමින් තනි ඉලක්කමක පැවතියේය. 

යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ‘දින සීයේ පොරොන්දු‘ ඉටු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ගැන සිහින පෙන්වමිනි. එ් අනුව ජනවාරි මාසයේදී අයවැය සමාලෝචනයක් සිදුවිය. ඒ අනුව, හරිනම් 2015 පෙබරවාරි මාසයේදී ද උද්ධමනය තවදුරටත් මධ්‍යස්ථ ලෙස පැවතිය යුතු විය. 

දැන්, රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කරය මගඩියක් කරගත් ආකාරය අප තේරුම් ගත යුතුය. 

එහි මුල් පියවර ලෙස සිදු කෙරුණේ ප්‍රතිපත්ති පොලී අනුපාතික උන් හිටි ගමන් -එක රැයකින් ඉහළ දැමීමයි. 

රටක ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම අතිශය කල්පනාකාරී ලෙස කළ යුත්තක් බව ආර්ථික විද්‍යාවේ ‘අ‘යන්න පමණක් කියවූ අය පවා දනිති. 

උදාහරණයක් වශයෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට ශ්‍රී ලංකා මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Policy Rate) වාර්ෂිකව 6.5% කි. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Policy Rate) වාර්ෂිකව 8% කි. යහපාලන ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සහන දෙන්නට නම් කළ යුතුව තිබෙන්නේ මෙම පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීමයි. එවිට මූල්‍ය පහසුකම් ලිහිල් කළ හැක. ජනතාවට සහන සැලසිය හැක. 

නමුත් සිදුවූයේ සිහිනෙන්වත් නොසිතූ දෙයකි. 

බියජනක අනාවැකියක්

මේ අතර ජනප්‍රිය ව්‍යාපාරික වෙබ් අඩවියක් වන “Equity Forum” වෙත, ජනාධිපතිවරණය පැවති දිනයට දින 3කට පසුව 2015 ජනවාරි 11 වැනිදා ‘බිස්නස් බැසිල්‘ නමැති අයෙක් (ආරූඪ නමක් විය හැක) ලිපියක් ලියයි. 

එහි එක ඡේදයක් මෙසේ ය. 

‘‘ෆ්‍රී ලංකා කැපිටල් හෝල්ඩින්ස් හිමිකරුවන්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෛත්‍රිපාල-රනිල් ‘යහපාලන ආණ්ඩුව‘ තුළ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල විශාල ව්‍යාපාරික පරිමාවක් ලබාගනු ඇත්තේ මහබැංකුවේ නව අධිපතිවරයා වන අර්ජුන මහේන්ද්‍රන් ෆ්‍රී ලංකා කැපිටල් හි ගාමක බලය වන අර්ජුන් ඇලෝසියස්ගේ මාමා මෙන්ම අතීතයේ පටන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන පෙළේ ආර්ථික උපදේශකවරයා ද වන නිසා ය‘‘...!

මේ අතර යහපාලන ආණ්ඩුවේ හත් වැනි සතිය එළඹුණේය. 

රනිල් වික්‍රමසිංහගේ අතිජාත ආර්ථික උපදේශකවරයා වූද, ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා වූ ද අර්ජුන මහේන්ද්‍රන්, මහබැංකුවේ වාර්ෂික පොලී අනුපාතික 3%කින් හිටිගමන් වැඩි කළේය. දැන් එය 12.5% කි!

3%ක් යනු කුමක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එය ලංකාවේ ආර්ථිකයට එල්ල කළ පරමාණු බෝම්බයක් ම විය. 

මූලික සැලසුම කෙටියෙන් මෙසේ ය. 

-  2015 පෙබරවාරි 27 වැනිදා රු. බිලියන 1 ක් වටිනා සහ කූපන් අනුපාතිකය 12.5%ක් වන 30 අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වූ බව ශ්‍රී ලංකා මහබැංකුව වෙළඳපොළට දැනුම් දෙයි. 

- කෙසේ නමුත්, කිසිදු පෙර ඇඟවීමකින් තොරව එය, මුල් අර්පණයට වඩා දස ගුණයකින් වැඩි, එනම් රුපියල් බිලියන 10 ක අති දැවැන්ත වටිනාකමකින් යුක්ත බැඳුම්කර එය විසින් හදිසියේම නිකුත් කරයි. 

- අනතුරුව එමගින් සිදුවූයේ රු. බිලියන 5ක වටිනාකමකට හදිසියේ ඉහළ ගිය නිකුතුව, ‘තමන් ට සම්බන්ධිත‘ ප්‍රාථමික අලෙවිකරුවෙකු හට, රු. 100 බැඳුම්කරයක් රු. 91 බැගින් නිකුත් කිරීමයි. 

- මෙහිදී බැඳුම්කරයක වෙළඳපොළ මිල රු. 120 ක් තරම් ඉහළ වේ. 

- මේ අනුව, මේ ආකාරයෙන් ප්‍රාථමික අලෙවිකරු වෙත බැඳුම්කර නිකුත් කිරීම මගින්, රු. මිලියන 1,000 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සඳහා ආණ්ඩුවට රු. මිලියන 290 කට ආසන්න අති දැවැන්ත පාඩුවකට මුහුණ පාන්නට සිදුවිය!

රනිල් - මහේන්ද්‍රන් දෙපළ

මෙම ප්‍රාථමික අලෙවිකරුවා අන් කිසිවෙකු නොව, මහබැංකු අධිපතිවරයාගේ බෑණා වූ අර්ජුන ඇලෝසියස්ගේ සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries Ltd (PTL)) ය..

ඔවුන්ට මෙම බැඳුම්කරය මිලදී ගැනීම සඳහා මුදල් තිබුණේ නැත. රටේ අති විශේෂ ඉහළ තැනකින් ආ නියෝගයක් මත, විනාඩි කිහිපයක් ඇතුළත, එක් ඊ මේල් පණිවුඩයක් මගින් රු. බිලියන 10 ක අති දැවැන්ත ණයක් ඉතිහාසයේ පළමු වතාවට කිසිදු සුරැකුමකින් තොරව මෙම සමාගමට ලබා දුන්නේ ලංකා බැංකුවයි!

රාජ්‍ය බැංකුවකින් ණයක් ලබාගැනීමට යාමේදී සාමාන්‍ය මිනිසෙකු විඳින දස දුක ගැන ඔබට මට අමුතුවෙන් කියා දිය යුතු නැත. නමුත් ලංකාවේ ලොකුම රාජ්‍ය බැංකුව ඊ මේල් පණිවුඩයක් මගින්, අත්දැකීම් රහිත ආධුනික ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ පර්පෙචුවල් ටෙෂරීස් වෙත විනාඩි කිහිපයක් ඇතුළත රු. බිලියන 10 ක් ලබා දුන් බව දැන් තහවුරු වී අවසන් ය...

මෙසේ කිරීමට අර්ජුන මහේන්ද්‍රන් කී හේතුව කුමක්ද?

ආණ්ඩුවට හදිසියේම රුපියල් බිලියන 9 ක මුදල් අවශ්‍යතාවයක් ඇති වූ බව කීවේය. 

නමුත් බැඳුම්කර වංචාවට සම්බන්ධ සුදු කරපටි අපරාධකරුවන් ඔබට කිසිදා නොකියන කතාවක් ද තිබේ. 

එනම්, ආණ්ඩුවට ‘හදිසියේම‘ රු. බිලියන 9 ක මුදලක් අවශ්‍ය වී නම්, එය ඉතාම ලෙහෙසියෙන්, මුළු රටේම ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යූහයට කිසිදු බලපෑමක් නොකර සිදුකළ හැකිව තිබූ බවයි. මීට පෙර අතීතයේදී ද මෙවැනි ‘හදිසි මුදල් අවශ්‍යතා‘ ආණ්ඩුවට ඇති වී තිබේ. නමුත් ඒ කිසිම අවස්ථාවක මෙතරම් අවුල් ජාලාවක ආර්ථිකය පැටළුණේ නැත.

ඉතාම සරල ලෙස මෙම ‘හදිසි‘ මුදල් අවශ්‍යතාවය ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ පවතින රජයේ බැංකු අයිරාව ඉහළ දැමීම ලබාගත හැකිය. 

එසේත් නැතිනම් රු. බිලියන 9 ක වටිනාකමකින් යුක්ත භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරන ලෙස මහබැංකුවෙන් ඉල්ලා සිටීමෙන් එය කළ හැකිය. 

රටේ ණය වෙළඳපොළ තුළ මේ නිසා මහා කම්පන තරංගයක් පැතිරී ගිය බව කිව හැකිය. රටේ සකල පොලී අනුපාතික ව්‍යූහයම විනාඩි කිහිපයක් ඇතුළත සසල වී ගියේය. 

සිය හිතවතෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාට තමන්ගේම පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ගෙන් විරෝධය එල්ල වූ බව නොරහසකි. නමුත් ඒ සියලු විරෝධයන් නිහඬ කිරීමට ඔහු වැඩ කළේය.

කාටූනය - අංජන ඉන්ද්‍රජිත් - ලක්බිම පුවත්පත

මෙහි සෘජු ප්‍රතිවිපාක සහ වක්‍ර ප්‍රතිවිපාක බොහොමයකි. 

සෘජු ප්‍රතිවිපාක ලෙස, තිස් අවුරුදු බැඳුම්කරයේ පොලී අනුපාතිකය තීව්‍ර සහ කෘතිම ලෙස ඉහළ ගියේය. රටේ එතෙක් පැවති අඩු උද්ධමනය විදුලි වේගයෙන් ඉහළ ගියේය. 

රනිල් - මහේන්ද්‍රන් දෙපළ සිදුකළ බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි 27 දා සිදුකළ නිකුතුවට පමණක් සීමා නොවේ. මේ අන්දමින්ම 2016 මාර්තු 29 වැනිදා ද මෙවැනිම බැඳුම්කර නිකුතුවක් සිදුකෙරිණි. 

මේ දෙකෙන් සිදුවූ සෘජු අලාභය සම්බන්ධයෙන් යම් තක්සේරුවක් එවකට විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් කෝප් කමිටුවට 2016 ජූනි 26 වැනිදා ලබාදුන් විශේෂ වාර්තාවෙන් හෙළිදරව් වේ. ඒ අනුව පළමු නිකුතුවේ තක්සේරු වටිනාකම රු. මිලියන 889.3 ක් වීමෙනි.  2016 මාර්තු 29 වැනිදා සිදුකළ දෙවැනි බැඳුම්කර නිකුතුව නිසා සිදුවූ පාඩුව රු. මිලියන 784.9 කි. ඒ අනුව මෙම බැඳුම්කර නිකුතු දෙකෙන් සිදුවූ සමස්ත සෘජු හානිය අති දැවැන්ත රු. මිලියන 1,674.2 කට ය.

නමුත් මෙම සමස්ත සෘජු හානිය මෙයට ද වඩා විශාල බවත්, විගණකාධිපතිවරයාගෙන් පවා අවශ්‍ය තොරතුරු වසං කර ඇති බවත් මෙම ලිපිමාලාවේ පසු අවධියකදී ඔබට පෙනී යනු ඇත. 

වාණිජ බැංකුවලටද මේ නිසා මරු පහරක් වැදුණේය. 

ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ බැංකුවලට  5% ක ස්ථාවර තැන්පතු පහසුකමෙහි (SDFR) පහළ සීමාවක් ලබාදී තිබිණි. 2015 පෙබරවාරි 27 දා සිදුකළ මතභේදාත්මක බැඳුම්කර නිකුතුව නිසා හටගත් පොලී අනුපාතික ප්‍රතිපත්තියේ වෙනස හේතුවෙන් මුළු රටේම බැංකු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස ඉහළ ගියේය.  

එය තවත් සරලව පවසන්නේ නම් මෙසේ ය. 

ඒ දක්වා පැවති පහසුකම යටතෙහි වාණිජ බැංකුවලට සිය අතිරික්ත මුදල් ශ්‍රී ලංකා මහබැංකුවේ 6.5%ක පොලී අනුපාතයකට සතියකට තුන් වරක් තැන්පත් කිරීමට හැකි විය. මේ සීමාවට වඩා ඉහළ ඕනෑම ස්ථානගත කිරීමක් සඳහා 5%ක පමණක් පොලී අනුපාතයක් වාණිජ බැංකුවටල ලැබිණි.  5%  SDFR සීමාව අහෝසි කිරීම මගින් අන්තර්-බැංකු ණය ගැනීම් අනුපාතිකය ද  6.5%ක ඉහළ සීමාවට ක්ෂණික ව ළඟා වුණේය! 

හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ 2015 මාර්තු 2 වැනිදා පටන් 5% SDFR පහසුකම අහෝසි බව ය!

එසේ වුවත්, මහබැංකු අධිපතිවරයා විසින් හදිසියේම මෙම තීරණය ගෙන තිබුණේ 2015 පෙබරවාරි 27 වැනිදා බව කියන්නටත් උවමනා නැත.

මේ වන විට ලංකාවේ වාණිජ බැංකුවලින් ණයගත් ජනතාව, එනම් අවුරුදු 20 නිවාස ණය ලබාගත් ජනතාව පවා රනිල් සහ මහේන්ද්‍රන්ගේ මහිමය නිසා මේ වන විට සිය වාරිකයෙන් ද පොලී ගෙවමින් සිටින්නේ එසේ ය.    

මේ අතර 2015 පෙබරවාරි 27 වැනිදා වේදිකාගත වූ පළමු බැඳුම්කර මගඩිය ගැන රසවත් තොරතුරු ද ක්‍රමයෙන් හෙළිදරව් වන්නට පටන් ගත්තේය. 

ශ්‍රී ලංකා මහබැංකුවේ ටයිටේනියම් කශේරුකා හිමි නිලධාරීන් කියා සිටියේ, මෙම බැඳුම්කර නිකුතුව සිදුකරන දිනයේදී මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ම එම ස්ථානයට ගොස් පෞද්ගලිකවම එය අධීක්ෂණය කළ බවයි.

මෙය ශ්‍රී ලංකා මහබැංකු ඉතිහාසයේ කෙදිනකවත් සිදුවූ දෙයක් නොවීය. 

එදින ඇත්තෙන්ම මහබැංකුව තුළ සිදුවූයේ කුමක්ද?

- හැමෝම දන්න ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි. 

මේ මෙම තීරු ලිපි රචකයාගේ ෆේස්බුක් පිටුවෙන් (බැඳුම්කර වීදිය - Bond Streetලබාගත් මීම් එකකි. මේ දිනවල ලංකාවේ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන සයිමන් නවවත්තේගම ශූරීන්ගේ ‘සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා‘ ටෙලි නාට්‍යයේ රූපරාමුවක් මෙහි දැක්වේ. වලව්වට පැමිණි බේබදු සළෙලුන් හාමිනේ (බැඳුම්කරය) කෙළසීමට සූදානම් වෙද්දී ඇගේ ආරක්ෂාව භාරව සිටින තැනැත්තිය (ශ්‍රී ලංකා මහබැංකුව) උකටලීව අසරණ වී බලා සිටියි.

සංස්කාරක සටහන - මෙහි පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.

පෙර ලිපිය

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස