බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස

බැඳුම්කරේ ජරමරේ - හැමෝම දන්න ජේමිස් බොන්ඩ් ලියයි. - 1 කොටස

25 July 2020 11:36 pm

මහබැංකුව මහදවාලේ  හොරු කැඩුවා මීට හොඳය. 

* * *

ලංකා ඉතිහාසයේ විශාලතම මහබැංකු කොල්ලය සිදුවී දැන් වසර 5 ක් ඉක්ම ගොස් තිබේ. සිදුවූ විනාශයේ තරම පෙනෙන්නේ දැන් ය. රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව, මේ රටේ සියලු දේශීය සහ විදේශීය ණය තුරුස් ගෙවා දමන්නට වුවත් සෑහෙන තරම් ය. ඒ සියල්ලටමත් වඩා විලි ලැජ්ජා හිතෙන දේවල් කිහිපයක් තිබේ. එකක් නම්, ‘යහපාලනය‘ පිළිබඳ සිහින පෙන්වා බලයට පැමිණි එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ම, බලයට පැමිණ දින කිහිපයක් ඇතුළත යහපාලනය පැතූ හැට දෙලක්ෂයකට එලොව පොල් පෙන්වීමට සැලැස්වීමයි. දෙවැනුව, මේ මහා වංචාවේ මහමොළකරු ඔහු වූ අතර, ඔහුගේ අතිජාත මිතුරා වන අර්ජුන මහේන්ද්‍රන්ව වංචාව සිදුවූ මොහොතේ පටන් ඔහු ආරක්ෂිතව රටෙන් පිටකරන මොහොත දක්වාම ‘මහා වසං කිරීමේ මෙහෙයුමක්‘ දියත් කළේ ද යහපාලනය ගැන දෙසමින් ජනතාව ඇන්දවූ රනිල් වික්‍රමසිංහම වීම ය. ඔහු විසින් නඩත්තු කළ සුදු කරපටි කල්ලියක්ද, ෆුට්නෝට් පා.ම. කල්ලියක්ද, සුජීව සේනසිංහ ලියූ පච පොතක්ද, කෝප් කමිටු දෙකක්ද, ජනාධිපති විමර්ශන කොමිසමක්ද මේ වෘත්තාන්තයේදී අපට මුණ ගැසෙයි. මෙව්වායේදී සිදුවූ දේවල් හොයන්නට නම් දැන් තවත් කොමිසමක් ද පත් කළ යුතු තරමටම ඒවායේදී සිද්ධ වූ දේවල් ‘අප්සැට්‘ ය.    

2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහා බැඳුම්කර වංචාව හේතුවෙන් මේ රටට සහ ආර්ථිකයට සිදුවූ පාඩුව මේ රටේ හුදී ජනයාට අසංවේදී විය හැකිය. ඒවාගේ ගණිත මිණිත සූත්‍ර සහ අපෝහණ ගණන් හිලව් අණ්ඩර දෙමළ සේ පෙනී යා හැකිය. නමුත් අවම වශයෙන් මේ රටේ මහජනතාව, බැඳුම්කර වංචාව නිසා මහජනතාවට සිදුවූ හානිය සහ පාඩුව ගැනවත් සරලවම දැනගත යුතුය. එය හෙළිදරව් කළ යුතු සත්‍යයක් සේම, ඔවුන් විසින් අනිවාර්යයෙන් දැනගත යුතු සත්‍යයක් ද වේ.  

උදාහරණයක් වශයෙන් මේ රටේ නෝනාවරුන් මහත්වරුන් දැනගත යුත්තේ  තමන් විසින් ගත් බැංකු ණයට පවා තවත් වසර 25 ක් ගත වන තෙක් ණය ලබාගන්නා විට බැංකුවෙන් කියු පොලියට වඩා ඉතා අධික මුදලක් ගෙවන්නට සිදුවී තිබෙන බවය. එනම් අවුරුදු 20 කට නිවාස ණයක් ගත් අය ද, මේ වන විට සිය වාරිකවලින් පොලී ගෙවමින් සිටියි. මේ ආර්ථික හෙණය මෙයට පමණක් සීමා නොවේ. එය  ඉදිරි තීරු ලිපිවලදී සීරුවෙන් දිග හැරෙනු ඇත. 

ඒ නිසා, ටයිකෝට් අඳින මේ සුදුකරපටි මහත්හොරුන් විසින් රටට, ආර්ථිකයට සහ ජනතාවට කළ වින්නැහිය සරල බසින් ජනතාවට තේරුම් කර දිය යුතු බව මේ තීරු ලිපි රචකයාගේ අදහසයි. 

ඒ නිසා මෙතැන් පටන් දිග හැරෙන්නේ ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව සහ එය පිටුපස සිටි සදිසි සහ අදිසි හස්තයන් ගැන කතාන්දරයයි. 

හදිස්සියේ පාත් වූ බුලත් හුරුල්ල

2015 පෙබරවාරි 27 වැනිදා එනම් යහපාලනය බලයට පත් වී මාසයක් සහ දින 19 ක් වැනි සුළු කාලයකට පසු සිදුවූ දෙයින් එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන විලම්බීත වී සිටියේ, මහා බැඳුම්කර වංචාව නිසා රටම කැළඹී සිටි හෙයිනි. 2018 ඔක්තෝබර් 28 වැනිදා ඔහු ජාතිය අමතමින් මෙසේ කියයි. 

‘‘.....මහබැංකු හොරකම, දූෂණය සහ වංචාව තුරන් කිරීම සඳහා අප ජනතාවට ලබාදුන් යහපාලනයේ ප්‍රතිඥාව ගබ්සා කිරීමක්... මේ කාලයේ වික්‍රමසිංහ මහතා බොහොම නොඉවසිල්ලෙන් සහ අවිවේකී විදිහට හැසිරුණා. මහබැංකුවට ගිහින් ඒකෙ කාර්ය මණ්ඩලය මුණ ගැහෙන්න මම තීරණය කළාම, මට මතකයි ඔහු හදිසියේම මගෙ ගෙදරට ඇවිත් මගෙන් ඇහුවා, ‘‘මහබැංකුව අයිති මට. ඇයි ඔබතුමා එහෙ යන්නෙ?‘‘ කියලා. ඒ මොහොතේ මම ඔහුට කිව්වා, ‘‘මේක ඔබතුමාගෙ විෂයපාත්‍රතාවය යටතෙ ගැසට් කළ බව ඇත්ත. ඒත් රටේ ජනාධිපතිවරයා විදිහට මට එතැනට යන්න අයිතියක් තියෙනවා‘‘ කියලා. ඒ වගේම මම ඔහුට කිව්වා ටික දවසකින් මම කොහොමත් මහබැංකුවට යනව කියලා. එතකොට වික්‍රමසිංහ මහත්තයා එක සැරේම එතැනින් යන්න ගියා..‘‘

‘‘මම එතැනට ගියාම විමර්ශනවලට නොගිහින් නිවාඩු පිට හිටිය අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා බුලත් අතකුත් අරගෙන කාර්ය මණ්ඩලයත් එක්ක මාව පිළිගන්න ආවා. මං පුදුමයට පත් වුණා ඒ හදිස්සියෙ එයා කොහෙන්ද ඒව හොයාගත්තෙ කියලා...‘‘

බැඳුම්කර හොරුන් අල්ලා ගැනීමට අන්තිමේදී මෛත්‍රිපාල සිරිසේනට හැබෑ උවමනාවකින් දශමයක් ද ඒ වන විට ඇති වී තිබුණේය. ඒ, රනිල් වික්‍රමසිංහ තමන්ටත් ‘ගේම‘ දුන් බව තේරුම්ගත පසුව විය යුතුය. කෙසේ නමුත් සිරිසේන ජනාධිපතිවරයා මුලින්ම සිතුවේ බැඳුම්කර හොරුන් ඇල්ලීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පවරන්නට ය. එහෙත් ඒ වන විට පැවති නීති තත්වය යටතේ හොරුන්ට අච්චු කරන්නට අවුරුදු 15 ක්වත් යාවි යැයි නීති විශාරදයන් පෙන්වා දී තිබිණි. කළ යුතුව තිබුණේ අල්ලස් පනත සංශෝධනය කිරීමයි. ඒ සංශෝධන පනත් කෙටුම්පත, මාස 5ක් සභානායක කාර්යාලයේ පල් විය. පනත අනුමත කිරීමට ඔන්න මෙන්න තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය! රනිල්ගේ ටිකිරි මොළේ!

ජෙෆ්රිගේ කාටූනය

මගෙ නම බොන්ඩ්.. මහබැංකුව කඩපු ට්‍රෙෂරි බොන්ඩ්!

‘‘මගෙ නම බොන්ඩ්.. ජේම්ස් බොන්ඩ්..!‘‘ - ''My name is Bond.., James Bond'' මේ වැකිය සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නරඹන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට ඉතා හුරු ය. 007 හෙවත් ජේම්ස් බොන්ඩ් නමැති සුප්‍රසිද්ධ රහස් පරීක්ෂකයා ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලදී සිය ප්‍රතිවාදීන්ට තමන්ව හඳුන්වා දෙන්නේ එසේ ය. දැන්, මේ කියමන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට ආදේශ කළහොත් ඔහුට කියන්නට සිද්ධ වන්නේ ‘‘මගෙ නම බොන්ඩ්..ට්‍රෙෂරි බොන්ඩ්!‘‘ කියා ය. ‘ට්‍රෙෂරි බොන්ඩ්‘ කියන්නේ (Treasury Bonds) කියන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවලට ය. භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම ඕනෑම රටක මහබැංකුවක් විසින්, රජයට හදිසි මුදල් අවශ්‍යතාවයක් පැන නැගුණු විට සිදුකරනු ලබන්නකි. එසේ කිරීමට මහබැංකුව බැඳී සිටියි. නමුත් රනිල් වික්‍රමසිංහ, තමන්ගේම පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය ද නොතකා සිංගප්පූරුවේ පුරවැසියෙකු වූ ද, සිය අතිජාත මිත්‍රයෙකු වූ ද අර්ජුන මහේන්ද්‍රන්ව මහබැංකුවේ අධිපතිවරයා බවට පත් කළේ අගමැති වූ වහාම ය. එපමණකින් නොනැවතුණු ඔහු, මහබැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ‘ගළවා‘ ආර්ථික කටයුතු සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට වහාම ගත්තේය. ඒ අමාත්‍යාංශයේ ඇමති ද රනිල්ම විය. 

එවකට මුදල් ඇමතිවරයා වූයේ රවී කරුණානායක ය. තවමත් කරුණු කාරණා නොදන්නා ජනතාව රවි කරුණානායකට ‘බැඳුම්කර හොරා‘ - බැඳුම්කර හොරා යැයි කියති. නමුත් ඔවුන්ට සහමුලින්ම අමතක වී ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වරට මහබැංකුව, මුදල් අමාත්‍යාංශයෙන් ඒ වන විට ගළවා තිබූ බව ය. නියම බැඳුම්කර හොරා වූයේ සුදුපාට ටයිකෝට් පැළඳ, සුදු කරපටි පැළඳ ‘හොරු අල්ලන්න අපි ආවෝ‘ යැයි වහසි බස් දොඩමින් සිටි රනිල් වික්‍රමසිංහ ය. 

කෙසේ වෙතත්.  මහබැංකු කොල්ලයට සියලු කටයුතු පෙර සූදානම් කළ රනිල්, බැඳුම්කර මගඩියෙන් පසු ජනතාව අමතා කීවේ කුමක්ද?

ඔහු හෙන උජාරුවෙන් සහ සුපුරුදු අහංකාර කමින් ද යුතුව මහබැංකු මගඩිය ගැන අදහස් දක්වමින් කීවේ ‘ලංකාවේ අය දන්නා එකම බොන්ඩ් ජේම්ස් බොන්ඩ් පමණක් බව‘ යි!

ලංකාවේ බත් කන අලි සිටිය හැක. නමුත් බත් කන හරක් ලංකාවේ නැත.  ඒ අනුව, බැඳුම්කර (බොන්ඩ්) කියන්නේ මොනවාදැයි ලංකාවේ උදවිය දන්නේ නැත යන අගමැතිවරයාගේ අනුමානය වැරදී යයි. අගමැතිවරයා මෙසේ කියන විටත් මහබැංකුවේ සිටි කශේරුවක් සිටි නිලධාරීන් සහ, රනිල්ගේ ආණ්ඩුවේම සිටි අවංක ජ්‍යේෂ්ඨයන් කිහිප දෙනෙක් විසින් 2015 පෙබරවාරි 27 දා, ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව සිදුවූ හැටි ජවනිකා සහිතව මාධ්‍ය වෙත හෙළි කර තිබිණි. ඒ වන විටත් ඔහු කර මුලටම සිර වී අවසන් ය. ඒ සුදු කරපටි අපරාධකරුවන්ගේ ජාලයක් ද හෙළිදරව් කරමිනි. 

- හැමෝම දන්න ජේමිස් බොන්ඩ් හෙටත් ලියයි

සංස්කාරක සටහන - මෙහි පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප සූදානම්.